දියවන්නාව පිටාර ගැලීමෙන් මැතිසබේ විනාඩි 8යි

දියවන්නාව පිටාර ගැලීමෙන් මැතිසබේ විනාඩි 8යි

පනත් 6ක් විවාදයෙන් තොරව සම්මතයි

දියවන්නාව පිටාර යාමෙන් යටවූ පාර්ලිමේන්තු සංකීර්ණයේ මිනිත්තු අටකටත් අඩු කාලයකට සීමා වූ ඊයේ (11) රැස්වීමේදී ආණ්ඩු පක්ෂය, විපක්ෂයේ එකඟතාවයෙන් පනත් හයක් විවාදයකින් තොරව සම්මත කර ගත්හ.

ඇති වූ හදිසි තත්ත්වයේ දී වැදගත් පනත් හයක් විවාදයකින් තොරව සම්මත කිරීමට සහයෝගය ලබා දුන් විපක්ෂයට, ආණ්ඩු පක්ෂය ස්තුතිය පිරිනමන බව සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කෙළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට ඊයේ (11) රැස්විය.

මුදල් පනත යටතේ නියෝග, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග සහ ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කරන පරිපූරක ඇස්තමේන්තුවක් ඇතුළු යෝජනා හතක් පිළිබඳව ඊයේ (11) පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත විය.

එහෙත් ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම යෝජනා අතරින් හයක් පිළිබඳව විවාදයකින් තොරව සම්මත කිරීමට විපක්ෂය එකඟ වූ බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය පමණක් වෙනත් දිනයකදී විවාද කිරීමට විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව එම විවාදය වෙනත් දිනයකදී පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව ලබන දාසය වැනිදා පෙරවරු 9.30 දක්වා කල්තබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වෙන් කරන බිලියන පහළොවක පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබඳව ද ඊයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නොසළකා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට තමන් ස්තුතිය පළ කරන බවත් ඇමැතිවරයා පැවසීය.

එහිදී නැගී සිටි කුරුණෑගල දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පසුගියදා සම්මත කර ගත් සූදු විශේෂ විධිවිධාන පනතත් සමඟ මෙම ධාරානිපාත වර්ෂාව ඇති වු බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා