ජාතියට පණ දෙන මොරගහකන්ද

ජාතියට පණ දෙන මොරගහකන්ද

කෘෂිකර්මය සමඟ බැදුණු ජීවන රටාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ වාරි ඉතිහාසයක් ඇති රටකි. ලොව දියුණු යැයි සම්මත රටවල විශේෂඥයන්ගේ පවා ඇස් උඩ ඉන්දන දැවැන්ත වාරි යෝජනා ක්‍රම අප සතු විණි. තෙරක් නොපෙනෙන දැවැන්ත වැව් ද අතිශය දියුණු මට්ටමින් ඉදි කෙරුණු සොරොව්, ඇළ මාර්ග ද අපේ රටේ සෑම තැනකම ඉදිවී තිබේ.

එහෙත් කාර්මීකරණය කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ ආණ්ඩු ශ්‍රී ලංකාව තවත් කාර්මික රටක් කරන්නට ගත් උත්සාහය නිසා අපට වටිනා වාරි ශිෂ්ටාචාරයෙන් සමුගන්නට සිදු විය. ක්‍රමයෙන් අභාවයට යමින් තිබූ අපේ ගොවිතැන කෙරෙහි රාජ්‍ය අවධානය යොමු නොකෙරිණි. කිසිදු මහා පරිමාණ වාරි ව්‍යාපෘතියකට මුල නොපිරිණි.

මේ තත්ත්වය වෙනස් වන්නට ගත්තේ 2005 වසරේ පටන් ය. ගමෙන් උපන් නායකයකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොවිතැනේ අගය වටහා ගෙන සිටි අතර කෘෂිකර්මය නඟා සිටුවීම සඳහා වහ වහා පියවර ගත්තේ ය. අතහැර දමා තිබූ වාරි ව්‍යාපෘති වහා යළි ඇරැඹුවේය.

මෙසේ ආරම්භ කෙරුණු ව්‍යාපෘති අතර ඉදිරියෙන් ම ඇති ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතිය හැඳින්විය හැක. මොරගහකන්ද එක් අතකින් වාරි ව්‍යාපෘතියකි. තවත් අතකින් පානීය ජල ව්‍යාපෘතියකි. තවත් අතකින් විදුලිබල ව්‍යාපෘතියකි. එහෙයින් මෙය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ.

මොරගහකන්ද ව්‍යාපාරය

මොරගහකන්ද ව්‍යාපෘතිය මුලින් ම යෝජනා කෙරුණේ 1970 දශකයේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ ය. එහෙත් නොයෙකුත් හේතු නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ නැත. රටේ ජනතාවගේත් යහපත උදෙසා ඍජු තීරණ ගන්නා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත 2007 වසරේ දී ඇරඹුණේ මෙසේ වසර 30ක් පමණ කල් මැරුණු ව්‍යාපෘතියකි.

ඇළහැර අඹන් ගඟ සහ ලග්ගල කළු ගඟ හරස් කර ඉදි කෙරෙන මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුළු මුදල රුපියල් මිලියන 65000කි. අති දැවැන්ත මුදලක් වැය කර තැනෙන මේ ව්‍යාපෘතියෙන් අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික් ජනතාවට වාරි ජලයත් උතුරු නැගෙනහිර පළාත් සහ මාතලේ දිස්ත්‍රික් ජනතාවට පානීය ජලයත් සැපයේ.

මේ ජලයෙන් යල මහ කන්නවලට අමතරව අතර මැද කන්නයක දී ඉඩම් අක්කර ලක්ෂ 2.5ක් අස්වැද්දීමට හැකියාව ඇත. නව වැව් 37ක් නව නගර 3ක් සහ උප නගර 12ක් මේ ආශ්‍රිතව ඉදි කෙරෙන අතර මැදිරිගිරිය ප්‍රදේශයේ පමණක් පවුල් 12000ක් අලුතෙන් පදිංචි කෙරේ.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මෙගාවොට් 20ක විදුලිබලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන අතර වර්ෂ 2017 වන විට සියලු ඉදිකිරීම් අවසන් කෙරේ. සෞදි අරාබිය, ජපානය ඇතුළු රටවල් ගණනාවක් මේ ව්‍යාපෘතියට ආධාර සපයයි.

මහවැලියෙන් පසු කිසිදු යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොවුණු යුගයක් මේ රටේ තිබුණි. එම යුගයට නැවතීමේ තිත තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එසේ නොවන්නට අදටත් මොරගහකන්ද ව්‍යාපෘතිය පිළිබඳ වාර්තා හමස් පෙට්ටියේම තිබෙන්නට ඉඩ තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා