භානුක ශ්‍රී ලංකා පිලට ජය ගෙනේ

භානුක ශ්‍රී ලංකා පිලට ජය ගෙනේ

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායක භානුක රාජපක්ෂ පිත්තෙන් හා පන්දුවෙන් පෑ දස්කම හේතුවෙන් ඊයේ (28) කොළඹ කෝල්ට්ස් පිටියේ පැවැති සංචාරක එංගලන්ත යොවුන් ක්‍රිකට් පිල සමග පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ලකුණු 31ක ජයක් වාර්තා කළේය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කළ බැවින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට තීරණය ප්‍රකාශ කරන ලදී.

කාසියේ වාසිය දිනූ එංගන්ත යොවුන් ක්‍රිකට් පිලේ නායක ලෙවිස් ග්‍රෙගරිස් ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290 ක් රැස් කළහ. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 131කදී අගනා ලකුණු 130ක් රැස්කළේ හතරේ පහර 12 ක් හා හයේ පහර 4 ක් සමගිනි. භානුක පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වූ අතර ලකුණු 19කට කඩුලු 2ක් ද දමාගනු ලැබීය. ලසිත් අබේරත්න ලකුණු 46 යි.

පන්දු යැවීමේදී ලෙවිස් ග්‍රෙගරි 43/3, මාට් ඩූන් 55/2 , ෂිව් තාකෝර් 34/ 2යි.  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යොවුන් එංගලන්ත ක්‍රීඩකයින් ඕවර 25 කදී කඩුලු 6ක් දැවී ලකුණු 123ක් ලබා සිටියදී තරගය නතර කරන ලදී. ඩැනියෙල් බෙල් - ඩ්‍රමන් 30, ඇඩම් බෙල් (නොදැවී) 28, ඇටීක් ජාවේට් 24 ක් ලෙස ලකුණු ලබා ගත්හ. සුපේශල ජයතිලක ලකුණු 21 කට කඩුලු 2ක් දවාගනු ලැබීය. තරග 5කින් සමන්විත තරගාවලිය 1 – 0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල ඉදිරියෙන් සිටින අතර මීළඟ තරගය හෙට (30) කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා