සියලු සේවකයන්ට විශ්‍රාම වැටුප් විශ්‍රාම වැටුප් අරමුදල් තුනක්

ජනපතිගේ අය වැය යෝජනාවට කැබිනට් අනුමැතිය

සියලු සේවකයන්ට විශ්‍රාම වැටුප් විශ්‍රාම වැටුප් අරමුදල් තුනක්

සේවකයාගෙන් සියයට දෙකක්

වයස 60 සිට විශ්‍රාම වැටුප්

රජයේ විශ්‍රාම වැටුප් සංග්‍රහය මඟින් ආවරණය නොවන සියලු සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබෙන පරිදි දායක විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කරයි.

2011 අය-වැයෙන් යෝජනා වූ පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (9) පැවැත්විණි.

මේ යෝජනාව අනුව සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල්, විදේශ ශ්‍රමික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් යනුවෙන් දායක විශ්‍රාම වැටුප් අරමුදල් තුනක් පිහිටුවීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා සේවක - සේව්‍ය දෙපාර්ශ්වයෙන් මාසික වැටුපෙන් සියයට දෙකක දායකත්වයක් ලබා දිය යුතු අතර, වසර දහයක අඛණ්ඩ දායකත්වයකින් අනතුරුව සේවකයාගේ වයස අවුරුදු 60 සිට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ.

රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණය යටතේ විශ්‍රාම වැටුප් අහිමි වූ බැංකු සේවකයන්ට ද මේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදලට දායක විය හැකිය. බැංකු සේවකයන් වෙනුවෙන් සේවක - සේව්‍ය දායකත්වය සඳහා මාසික වැටුපෙන් සියයට පහක් ගෙවිය යුතුය. ඔවුන්ගේ අවසාන වසර දහය ලැබූ දළ විශ්‍රාමික වැටුපෙන් සියයට විසිපහක් විශ්‍රාම වැටුප ලෙස ගෙවනු ලැබේ.

විදේශ විශ්‍රාමිකයන් සඳහා හඳුන්වාදී ඇති ප්‍රතිලාභ අරමුදලට දායකවීමට නම් විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයකු වසරකට රුපියල් 12,000 බැගින් තම දායකත්වය ලබාදිය යුතුය. මේ අරමුදල සඳහා රජය රුපියල් මිලියන 1000ක දිගුකාලීන බැඳුම්කරයක් සපයන අතර සාමාජිකයකුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබේ.

ස්වයං රැකියා නියුක්තිකයන්ට තම අභිමතය පරිදි මීට දායකවීමට ඉඩ සැලසේ. ඔවුන්ගේ වයස අවුරුදු 65දී විශ්‍රාම වැටුප් ලබාගැනීමට සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර දහයක්වත් දායක විය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා