සවස 3න් පසු පාසල් ගුරු-සිසු කැමැත්ත අනුවයි

සවස 3න් පසු පාසල් ගුරු-සිසු කැමැත්ත අනුවයි

රජය සිය ස්ථාවරය පැහැදිලි කරයි

පස්වරු 3.00 දක්වා පාසල් විවෘත කර තබන්නේ සිසුන්, ගුරුවරුන් හා මව්පියන්ගේ කැමැත්ත මත පමණක් බව රජය අවධාරණය කරයි.

කිසි විටෙකත් මෙය අනිවාර්ය කර නොමැති අතර, එය ක්‍රියාවට නංවන්නේ දිවයින පුරා සංවර්ධනය කෙරෙන පාසල් දහසේ පමණක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි. දේශපාලන වාසි තකා ඇතැමුන් විවිධ ප්‍රචාරයන් ගෙන යන බව සඳහන් කරන ඒ මහතා රටේ අනාගතය බාර ගන්නා දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලඥයන් මැදිහත් වීමෙන් වැළකිය යුතු බවද පෙන්වා දෙයි.

හෙතෙම මේ බව පැවැසුවේ ‘දිනමිණ’ ට විශේෂ ප්‍රකාශයක් කරමිනි. පස්වරු තුන දක්වා පාසල් විවෘත කර තැබීමට බලාපොරොත්තු වන්නේ දැනට සංවර්ධනය කෙරෙන පාසල් 1000ක පමණක් බවත්, එය ක්‍රියාත්මක කරනුයේ ද දරු දැරියන්, මවුපියන් හා ගුරුවරුන්ගේ කැමැත්ත මත පමණක් බවද කී ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඇතැම් පාසල් මීට කලකට පෙර සිටම පස්වරු 3.00 දක්වා විවෘත කර තැබුන බව කීවේය.

මිලියන 4 ක් වූ පාසල් දරු පිරිස සහ ඔවුන්ගේ මවුපියන්ගේ මනස විකෘති කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් අය උත්සාහ ගන්නා බව කී ජනාධිපති ලේකම්වරයා, පස්වරු 3.00 දක්වා විවෘත කර තැබීමේ අරමුණ වී තිබෙන්නේ දරුවන් පාසල තුළ ගත කරන කාලය වැඩි කිරීමත් අධ්‍යාපන කටයුතු වල මෙන්ම, ක්‍රීඩා හා විෂයබාහිර කටයුතු වලට වැඩි වැඩියෙන් යොමු කිරීම බවත් ප්‍රකාශ කළේ ය.

තමන්ගෙන් ඉටු විය යුතු කාර්ය භාරය කුමක්ද යන්න පිළිබඳව අපේ දරු දැරියන්ට ඉගැන්වීමේ ක්‍රමවේදයකට අප ගමන් කළ යුතු බව කී ලලිත් වීරතුංග මහතා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ වර්තමාන රජය මේ රටේ පාසල් දරු දැරියන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙන බවද කීවේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ පාසල් අධ්‍යාපනය දියුණු කරමින් දරු දැරියන්ට වඩා හොඳ හෙට දවසක් ගතකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබෙන බවයි. පසුගිය 2009 වසර ඉංගී‍්‍රසි හා තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් කරමින් ජනපතිවරයා, දරුවන් වෙනුවෙන් ඉටුකරන යුතුකම කුමක්දැයි පෙන්වා දී ඇතැයි ද හෙතෙම එහිදී කීය. සෑම මවුපියකුම උත්සාහ ගන්නේ තම දරුවන් ජනපි‍්‍රය පාසලක් වෙත යොමු කරමින් වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට බව කී ඒ මහතා, රජයේ නව වැඩපිළිවෙළ යටතේ පාසල් 1000ක් සංවර්ධනය කිරීම හරහා උත්සාහ ගන්නේ මේ රටේ සෑම ප්‍රදේශයකම වාසය කරන දරු දැරියන් වෙත තමාට ළඟින්ම පිහිටි ජනපි‍්‍රය පාසලක් වෙත යාමට අවස්ථාව උදා කර දීම අවධාරණය කළේ ය.

මෙහිදී ලලිත් වීරතුංග මහතා පෙන්වා දුන්නේ රජයේ මේ වැඩපිළිවෙළ හරහා ජනප්‍රිය පාසල්වලට තිබෙන තද බදය අඩු වන බවත් සංවර්ධනය කෙරෙන පාසල් 1000 මුල් කරගත් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා