“මිල්ලන්ගොඩ රාජා” ආහාර ගැනීමේ අපහසුවෙන්

දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද

“මිල්ලන්ගොඩ රාජා” ආහාර ගැනීමේ අපහසුවෙන්

ජනපති උපදෙසින් විශේෂ ආහාර

ආසියාවේ දිගම දළ ඇතා වශයෙන් පිළිගැනෙන “මිල්ලන්ගොඩ රාජා” ඇතාට පෝෂණීය ආහාර ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගනී.

“මිල්ලන්ගොඩ රාජා” ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාර්තා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවට නියෝග කැර තිබේ.

වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පෙරේදා (09) පෙරවරුවේ මොලගොඩ මිල්ලන්ගොඩ ඇත් ගාලට පැමිණ මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බැලීය.

දැනට මාස කීපයක සිට මුඛයේ දත් හැලීයාම හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවයෙන් පසුවූ මෙම හස්තියා දුර්වල තත්ත්වයෙන් පසුවන බව සබරගමුව පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තුල්මිණි දීයාගොඩ මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා ජනාධිපතිතුමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව මෙම හස්තියාට අවශ්‍ය විශේෂ පෝෂණීය ආහාර සපයන ලෙස ජනාධිපතිතුමා වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා විශේෂ ආහාර පරීක්ෂා කරමින්...

දැනට වසර හැත්තෑ දෙකක් පමණ වයසැති මෙම ඇතා 1945 වර්ෂයේ දී ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයෙන් අල්ලාගත් බව ඇතාගේ හිමිකරු වන එස්. ආර්. ඒ. මිල්ලන්ගොඩ මහතා පැවසීය.

වසර විසිපහකට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ලත් “මිල්ලන්ගොඩ රාජා” හස්තියා වෙනත් දේවාල හා විහාර පෙරහර මංගල්‍යයන්හිදී ද සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදාකර ගත්තෙකි.

වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා:- ”අලි ඇතුන් අපගේ සම්පතක්. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ඉතාම අලංකාර බැවින් විදේශීය සංචාරකයන් අලි ඇතුන් නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙනවා. වැඩිහිටියන්ට සැලකීමේ පුරුද්ද අපේ වටිනා චාරිත්‍රයක්.

වසර ගණනාවක් දළදා මාලිගාවේ කරඬුව හා වෙනත් පෙරහර අලංකාර කළ “මිල්ලන්ගොඩ රාජා” හස්තියා දැන් වයෝවෘද්ධව සිටිනවා. මෙම හස්තියාට අවශ්‍ය පෝෂණීය ආහාර සපයන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට ජනාධිපතිතුමා නියෝග කළා. වැඩිහිටියන්ට සලකන ප්‍රතිපත්තියක් සහිත අපි මෙවැනි වයෝවෘද්ධ අලි ඇතුන් ද රැකබලා ගැනීමට ක්‍රියාකරනවා”යැයි මෙහිදී කීය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා