පාසල් පෙම් යුවළ බොල්ගොඩ ගඟට පැනලා

පාසල් පෙම් යුවළ බොල්ගොඩ ගඟට පැනලා

තරුණයා මිය යයි තරුණිය බේරෙයි

අපි දෙන්නා එකට මැරෙමු” යි අත් පටලවාගෙන හිරණ පාලම මතින් බොල්ගොඩ ගඟට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ යුවළකගෙන් තරුණියගේ දිවි බේරී තරුණයා මියගොස් ඇතැයි පාණදුර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත පොල්හේන පදිංචිව සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන කවිඳු දිල්ෂාන් (17) නැමැති අයයි.

ඔරු පදින්නකු විසින් තරුණියගේ ජීවිතය බේරා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. දියේ ගිලී අතුරුදන් වු තරුණයාගේ මළ සිරුර ඊයේ (09) නාවික හමුදා කිමිදුම් කරුවන් සොයාගෙන ඇත.

මියගිය තරුණයා මිලදී ගෙන දුන් ජංගම දුරකථනය තරුණියගේ මවුපියන්ට හසු වීමෙන් පසු මොවුන් දෙදෙනා පෙරේදා (08) දහවල් නිවෙස්වලින් පිට වී රෑ බෝ වන තුරු මහ මඟ ගතකර ඊයේ (09) අලුයම පාලම මතට පැමිණ ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. තරුණිය මීටර් 250ක් පමණ ගඟේ පහළට ගහගෙන ගොස් නතර වී තිබියදී ඇයගේ කෑ ගැසීම ඇසී ඒ දෙසට ගොස් බේරාගත් බව ඔරු පදින්නකු වන අජිත් කුමාරසිරි මහතා පැවැසීය.

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එඩ්මන්ඩ් මහින්ද මහතාගේ අධීක්ෂණය යටතේ පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරදාස හෙට්ටිආරච්චි හිරණ පොලිස් මුරපළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී. කේ. මාතරආරච්චි, උප පොලිස් පරීක්ෂක වසන්ත අනවරත්න පොලිස් සැරයන් ධර්මරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා