කොළඹට ගෙනා 210,000ක හොර මත්පැන් අත්අඩංගුවට

කොළඹට ගෙනා 210,000ක හොර මත්පැන් අත්අඩංගුවට

කුඩා බට්ටා වෑන් රථයකින් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් දෙලක්ෂ දහදාහක් වටිනා මත්පැන් තොගයක් සමඟ එක් සැකකරුවකු ඒකළ ප්‍රදේශයේ දී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු බෝතල 700ක් තිබූ බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ පරීක්ෂක තිලක් දිසානායක මහතා පැවැසීය. සැකකරු කාලයක් තිස්සේ නවීන පන්නයේ වාහනවලින් ජා - ඇළ ඒකල යන ප්‍රදේශවල සිට වත්තල පෑලියගොඩ, කොළඹ යන ප්‍රදේශවලට මත්පැන් බෙදාහරින බව සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් බට්ටා වෑන් රථය ද රුපියල් ලක්ෂ දහයක් පමණ වනු ඇත. සැකකරු මත්පැන්, වාහනය ද සමඟින් ඊයේ කනුවන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී උපුල් සෙනෙවිරත්න, ස්ථානාධිපති ආනන්ද චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක, කෝප්‍රල් කුමාරසේන, නියාමකවරුන් වන රත්නායක, රවී පෙරේරා, සරත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා