සැකකාර ඉන්දීය තරුණයන්ට රු. 50,000ක ශරීර ඇප

ශාන්ති කර්මයක මුවාවෙන් අබරණ කොල්ල කෑම :

සැකකාර ඉන්දීය තරුණයන්ට රු. 50,000ක ශරීර ඇප

ශාන්ති කර්මයක් කිරීමේ මුවාවෙන් නිවැසියන් සිහි නැති කර ඔවුන් සතු පවුම් දාහතක රන් ආභරණ පැහැර ගෙන ගිය ඉන්දීය ජාතික තරුණයන් දෙදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් රුපියල් විසිපන් දහස බැගින් ශරීර ඇප ඊයේ (19) නියම කරන ලදී.

මෙසේ ඇප නියම වූයේ ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ගෝපාල්වේනු සහ සංකාර් සලීල් මොහොන් ආනන්දන් යන සැකකරුවන් දෙදෙනාට ය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇන්ටන් සේනානායක මහතා තම සේවාදායකයින් සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා අතර සිද්ධියට අදාළ රන් භාණ්ඩ ආපසු පැමිණිලිකාරියට ලබා දීමට ද සූදානම් බව කියමින් සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

නීතිඥවරයාගේ එම ඉල්ලීම ගැන සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුවන්ට ඉහත කී ලෙස ඇප නිමය කෙළේ ය.

ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අනෝමා නැමැත්තියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකාර ඉන්දීය තරුණයින් දෙදෙනා ශාස්ත්‍ර කියන මුවාවෙන් පැමිණිලිකාරියගේ නිවෙසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ නිවෙසේ පැමිණිලිකාරියත් ඇගේ මවත් පමණක් සිට ඇත. පැමිණිලිකාරියගේ දරු දෙදෙනාට බලවත් ලෙස අපල තිබෙන බවත් එය ශාන්ති කර්මයකින් මඟහැරිය හැකි බවත් ශාස්ත්‍රය කියා ඇති අතර ශාන්ති කර්මය කිරීමට රන් බඩු අවශ්‍ය බැවින් නිවෙසේ ඇති රන්භාණ්ඩ රැගෙන එන ලෙස පැමිණිලිකාරියට දන්වා ඇත.

සැකකරුවන්ගේ එම දැන්වීමට අනුව නිවෙසේ තිබූ පවුම් දාහතක් වූ රන්බඩු ගෙනවිත් ශාන්තිකර්මය පටන් ගැනීමට පෙර පැමිණිලිකාරියට හා ඇගේ මවට කිසියම් දුම්වර්ගයක් ආග්‍රහණය කරන්නට සලස්වා ඔවුන් සිහිසුන් වූ පසු සැකකරුවන් රන් භාණ්ඩ රැගෙන පලාගොස් ඇති බව අධිකරණයේ දී හෙළි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා