ද. අපි‍්‍රකා-නවසීලන්ත අර්ධ අවසන් තරගය අද

ද. අපි‍්‍රකා-නවසීලන්ත අර්ධ අවසන් තරගය අද

ලෝක කුසලාන තරග මාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වැනි දිවා / රාත්‍රි තරගය අද (25) දකුණු අපි‍්‍රකාව හා නවසීලන්තය අතර බංග්ලාදේශයේ ඩැකා නුවර ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මූලික වටයේ දී ‘ඒ’ කාණ්ඩයේ තරග වැදුණු නවසීලන්තය තරග 6 කින් තරග 4 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ සිවු වැනි ස්ථානය හිමිකර ගත් අතර දකුනු අපි‍්‍රකාව ‘බී’ කාණ්ඩය නියෝජනය කරමින් තරග 6 කින් තරග 5 ක්ම ජයගෙන ප්‍රසාද ලකුණු 10 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ය.

පසුගිය ලෝක කුසලාන තරගමාලා 5 ක දී තෙවරක්ම අවසන් පූර්ව වටයට පැමිණීමට දකුණු අපි‍්‍රකාව සමත් වූ අතර එක් තරගමාලාවක දී අර්ධ අවසන් පූර්ව වටයේදීත් තවත් තරග මාලාවක දී මූලික වටයේ දීත් තරගාවලියෙන් ඉවත්විය. නවසීලන්තය හා දකුණු අපි‍්‍රකාව අතර මේ දක්වා එක්දින තරග 51 ක් පවත්වා ඇති අතර ඉන් තරග 30 ක ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් වී ඇත. තරග 17 ක ජය නවසීලන්තයට හිමි වී ඇත. ප්‍රතිඵල රහිතව තරග 4ක් නිමාවට පත්වී තිබේ. මෙවර ලෝක කුසලාන තරග මාලාවේ මූලික වටයේ නවසීලන්තය සහභාගි වූ අවසන් තරගයට (ශ්‍රී ලංකාව සමඟ) ක්‍රීඩා නොකළ නායක ඩැනියෙල් විටෝරි අද තරගයට සහභාගිවීමට නියමිත අතර ආබාධයකට ලක්වී සිටින වේගබන්දු යවන ක්‍රීඩක හමීෂ් බෙනට් වෙනුවට ඩැරිල් ටෆී කණ්ඩායමට එක්වී සිටියි.

මූලික වටයේ දී පිතිහරඹ අංශයෙන් දස්කම් පෑ රොස් ටේලර්, බ්‍රෙන්ඩන් මැක්ලම් සහ මාර්ටින් ගුප්ටිල් අදත් නවසීලන්තයේ ඉනිම ගොඩ නගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් හෂීම් අම්ලා, ඒ. බී. ඩිවිලියර්ස්, ජේ. පී. දුමිනි සහ නායක ග්‍රෙහැම් ස්මිත් පිතිහරඹ අංශයෙන් ඉදිරියෙන් සිටින අතර රොබින් පීටර්සන්, ලොන්වාබෝ සොට්සොබේ සහ ඉම්රාන් තාහිර් පන්දු යැවීමේ අංශයෙන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. මූලික වටයේ දී එතරම් දස්තම් දැක්වීමට අසමත් වුවද මේ තීරණාත්මක තරග වටයේ දී තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලීස් කෙරෙහි නායක ස්මිත් ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටියි. “මේක හරියට විභාගයක් වාගෙයි. ඒත් දැඩි කැපවීමකින් යුතුව සූදානම් වුවහොත් විභාගයට හෝ නිවැරැදි ලෙස පිළිතුරු සැපයුව ගොස් විභාගය සමත් වෙන්න පුලුවනි” ජැක් කලීස් ක්‍රිකින්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.එබැවින් අද තරගය දෙපිලටම ඉතා තීරණාත්මක තරගයක් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා