බේස්බෝල් මුල් පුටුව ඇමැති එස්. බී. ට

බේස්බෝල් මුල් පුටුව ඇමැති එස්. බී. ට

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අද නිතරගයෙන් තේරී පත් වේ. ක්‍රීඩා ඇමැතිවරයෙකු ලෙස ද, කටයුතු කළ එස්. බී. දිසානායක මහතා මේ තනතුර භාරගැනීමට තීරණය කර ඇත්තේ බේස්බෝල් සංගමයේ නිලධාරීන් පිරිසකගේ බලවත් ඉල්ලීමක් මතය.  මේ සමඟ බේස්බෝල් ක්‍රීඩාවේ විශාල දියුණුවක් සිදුවෙතැයි විශ්වාස කෙරේ. බේස්බෝල් සංගමයේ හිටපු සභාපති පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මෙවර උපසභාපති තනතුර භාරගෙන ඇත.

ලේකම් තනතුරට මනෝජ් කෞෂල්‍ය ප්‍රනාන්දු මහතා, භාණ්ඩාගාරික ලෙස ඩී. එම්. තෙන්නකෝන් මහතා නිතරගයෙන් තේරී පත්ව ඇත. ලබන අප්‍රේල් මාසයේ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වෙන දකුණු ආසියානු බේස්බෝල් තරගාවලිය නව පරිපාලනයේ ප්‍රධාන ඉලක්කය වී ඇත. එමෙන්ම 2013 දී එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද අපේක්‍ෂාවකි. මේ අතර හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල් ක්‍රීඩාංගණයේ බේස්බෝල් ක්‍රීඩාව සඳහා සියලු පහසුකම් ඇතිකිරීමට ද සංගමය සැලසුම් කොට ඇත. අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ සහයෝගය මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා