වයඹ ක්‍රිකට් ගැටුම අද-හෙට වෙළගෙදරදී

වයඹ ක්‍රිකට් ගැටුම අද-හෙට වෙළගෙදරදී

කුරුණෑගල වයඹ රාජකීය විදුහල සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල අතර 7 වැනි වරටත් පැවැත්වෙන වයඹ ක්‍රිකට් ගැටුම මාර්තු අද (25) හෙට (26) දෙදින තුළ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තුන්වැනි වරට පැවැත්වෙන සීමිත ඕවර තරඟය මාර්තු 27 වන ඉරිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මෙතෙක් පැවැති මහා ක්‍රිකට් තරඟ සියල්ලම ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති අතර පැවති සීමිත ඕවර් තරඟ දෙකේම ජය වයඹ රාජකීයයන් සතුකරගෙන තිබේ.

තුන් ඉරියව්වේ දක්‍ෂතා පෙන්වන හතරවන වසරේ ක්‍රීඩක දිලීප නවරත්න වයඹ රාජකීය විදුහල මෙහෙයවන අතර දෙවන වසරේ ක්‍රීඩක දකුණතින් දඟපන්දු යවන හරේන්ද්‍ර රෂ්මික උපනායක වශයෙන් කටයුතු කරයි. නායක දිලීප නවරත්න මේ වන විට ලකුණු 584ක් ඉක්මවා ඇති අතර කඩුළු 12ක් දවාගෙන ඇත. වයඹ රාජකීය පිල පාසල් ක්‍රිකට් තරඟ වාර 06 කට සහභාගී වී එක් තරඟයක ජය වාර්තා කරගෙන ඇති අතර සෙසු තරඟ ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

තුන්ඉරියව්වේම දක්‍ෂ හතරවන වසරේ ක්‍රීඩක ආර්. ඩී. ඒ. එන්. රත්නායක ශ්‍රීමත් ජෝන් කොතලාවල පිල මෙහෙයවයි. වමතින් දඟ පන්දු යන ආර්. එම්. ඩී. බී. රාජපක්‍ෂ උපනායක වශයෙන් කටයුතු කරයි. මෙම පාසල් වාරයේ තරඟ වාර 04කට සහභාගී වී සිටින ශ්‍රීමත් ජෝන් කොතලාවල පිල තරඟ 02ක ජය වාර්තාකරගෙන ඇති අතර සෙසු තරඟ ජයපරාජයෙන් තොරව අවසන් කර ඇත. වයඹ රාජකීය පිලේ පුහුණුකරු ලෙස ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුව සිටි සමන්ද සිල්වා මහතා කටයුතු කරන අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල පිලේ පුහුණුකරු ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුව සිටි තුසිත හේරත් මහතා කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා