උපන් දිනයදා ගිනි තබාගත් ඇඟලුම් සේවිකාවගේ මරණයට හේතුව තවමත් අභිරහසක්

උපන් දිනයදා ගිනි තබාගත් ඇඟලුම් සේවිකාවගේ මරණයට හේතුව තවමත් අභිරහසක්

* එදා උදේ මිතුරියක සමග කේක් කාලා

* මිතුරිය තෑගි ගෙනෙන්නට යද්දී ගිනි තබාගෙන පැන දුවයි

මා වැස්ස නිසා කුඩයක් රැගෙන යාමට නැවතී සිටින නිවසේ කාමරයට ආවා. ඒ අවස්ථාවේ නදීශා කාමරයේ නොසිටි නිසා ඇය ගැන සොයා බලන විට කාමරයේ පිටුපස ඉදලා සිරුරට ගින්දර තියා ගෙන පැන දිව්වා. සිය උපන් දිනය දවසේ සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කරගත් බලංගොඩ, වැලිපතයාය ප්‍රදේශයේ පදිංචිව සිටි කඩුවෙල, වදුරන්මුල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කළ යූ. ජී. නදීශා ප්‍රියදර්ශනී නමැති 21 හැවිරිදි තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ මිතුරියක් වන එම ආයතනයේම සේවය කරන එස්. ඒ. උපේක්ෂා සංජීවනී මෙනෙවිය (21) සාක්කි දෙමින් එසේ කීවාය.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක අෂ්රොප් රුමී මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (01 වැනිදා) කොළඹ ජාතික රෝහලේදී පවත්වන ලදී. මෙහිදී බියගම පොලිසියේ සැරයන් මල්ලවආරච්චි මහතාගේ (48854) සාක්කි මෙහෙයවීම යටතේ තවදුරටත් සාක්කි දුන් සාක්කිකාරිය මෙසේ ද කීවාය. අපි දෙන්නා වදුරන්මුල්ලේ ඇඟලුම් ආයතනයක සේවය කරනවා. මගේ ගම එප්පාවල, ඉහළවැව ප්‍රදේශයයි. අපි රැකියාවට යාමට ඒමට පහසුව සඳහා බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නිවෙසක කාමරයක් කුලියට ගෙන එහි නැවතුනා.

ඉකුත් බදාදා ඒ කියන්නේ අගෝස්තු 31 වැනි දා නදීශා ගේ උපන් දිනය යෙදී තිබුණා. එදින උදේ ඇය කේක් එකක් කපලා මට කන්නට දුන්නා. පසුව අපි දෙන්නා වෙනදා වගේ සිරිත් පරිදි වැඩට ගියා. සවස වැඩ ඇරිලා සවස හයට පමණ කාමරයට ආපසු ආවා. ඇය කාමරයේ සිටිද්දී මා නදීශා ගේ උපන් දිනයට තෑගි කිරීම සඳහා අලුත් ගවුමක් අරන් ඒමට පේරගස් හන්දියට ඒමට පිත් වුනා. ඒ වෙලාවේ “මට ගවමුක් ගෙන්න එපා, එවා මට ඕනේනැහැ” කියලා නදීශා කීවා.  ඒත් මා ඇයට උපන් දිනයට දීමට ගවුමක් අරන් එන්නට පයින් ගියා. එම හන්දියට වැඩි දුරක් නැහැ. මා යන විට අතරමගදී වැස්සක් කඩා වැටුණා. ඒ නිසා මා කුඩයක් රැගෙන යාමට නැවත කාමරයට ආවා. ඒ වන විට නදීශා කාමරයේ පෙනෙන්නට සිටියේ නැහැ. ඉතින් මා නදීශා කියලා ඇයට කතා කළා. ඒත් ඇය කතා කෙළේ නැහැ.

පසුව මා කාමරය පිටුපසට ගිහින් බැලුවා.  එවිට ඇය ඇඟට ගිනි තබා ගෙන පැන දිව්වා. මා කෑගැසුවා. ඒ අවස්ථාවේ අසල් වැසියන් පැමිණ ඇය අල්ලා ගිනි දලු නිවා දැම්මා. ඉන් අනතුරුව ඇය බියගම රෝහලට රැගනෙ ගියා. එතැනින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැව්වා. එහිදී ඇය මිය ගියා. මා දන්නා තරමින් නදීශාට ගිනි තබා ගන්නට තරම් හේතුවක් තිබුණේ නැතැයි ද සාක්කිකාරිය කීවාය. මියගිය තරුණියගේ සොහොයුරා යූ. ජී. සරත් ආනන්ද කුමාර (33) යන අයද සාක්කි දුන්නේය. පිළිස්සීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් හටගත් කම්පනයෙන් මේ මරණය සිදුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී රුල් හග් මහතා වාර්තා කළේය. ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙය සිය දිවි හානි කර ගැනීමක් බවට නිගමනය කරනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා