කාමරයක සිට පැමිණි පුද්ගලයකු ව්‍යාපාරිකයා නිරුවත්කොට ඡායාරූප අරන්

දුරකතනයෙන් කතා කළ කතගේ නිවෙසට ගිය ව්‍යාපාරිකයා මර උගුලක

කාමරයක සිට පැමිණි පුද්ගලයකු ව්‍යාපාරිකයා නිරුවත්කොට ඡායාරූප අරන්

ඡායාරූප නිවෙසට යවනවායැයි යුවළගෙන් තර්ජන

අවි ආයුධ පෙන්වා බිය ගන්වමින් ලබාගත් නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසා ලක්‍ෂ 5 ක කප්පමක් ලබාගත්තේ යැයි කියන සංවිධානාත්මක කල්ලියක පිරිමියකුට හා කාන්තාවකට එරෙහිව මීගමුව පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබුණි’.දළුපතනපාර තිඹිරිගස්කටුව පදිංචි රාගලගේ ශාන්ත සිල්වා නැමැති පොල් ව්‍යාපාරිකයකු මෙහි පැමිණිලි කරුය. සැකකරු කුරණ කටුනායක පදිංචි තැනැත්තකි. සැකකාරී වැලිහේන පාර තිඹිරිගස්කටුව පදිංචි කාරියකි.

මෙම යුවළ විවාහක අඹු සැමියන් නොවන බව විමර්ෂණවලදී හෙළිදරව් වී ඇත. චන්ද්‍රා නැමැති සැකකාර කාන්තාව පැමිණිලිකරුගෙන් පොල් මිලදී ගන්නා තැනැත්තියෙකි. දුරකතනයෙන් ද ගනුදෙනු ගැන කථා කරයි. රට ඉඳලා පුතා එවපු බයිසිකල් වගයක් තියෙනවා ඒවා විකුණන්ඩ පුළුවන්ද කියලා කථා කර ගන්ඩ 2011. 08. 04 දින තම නිවෙසට පැමිණෙන ලෙස සැකකාරිය පැමිණිලිකරුට දුරකථනයෙන් ආරාධනා කළේ ය. පැමිණිලිකරුද තම බිරියට එය දන්වා (සැකකාරියගේ) නිවෙසට ගියේය. ඒ අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ සැකකාර කාන්තාව පමණැකැයි පැමිණිලිකරුට වැටහුණි. පැමිණිලිකරු නිවෙස ඇතුළේ අසුන් ගත්තේ ඇයගේ ඉල්ලීම පරිදිය.

සැකකාරිය දොර වසනු ලැබීය. පැමිණිලිකරුට තමා ඉදිරියට පැමිණ සිටගන්නා ලෙස ඇය කළ ඉල්ලීම ඔහු විසින් ඉටුකරණ ලදී. ඒ සමඟම නිවෙසේ කාමරයක සැඟව සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ තමුසේ මගේ ගැණිට බලහත්කාරකම් කරන්ඩ ආවානේද? කියමින් මරණ තර්ජන කරමින් පිහිය දිගුකර ඇත. කලිසම ගැලවූවේ නැතිනම් මරණ බවට ඔහු හඬනැගීය. මරණ බිය නිසා පැමිණිලිකරු ඇඳුම් ගලවා තිබේ. ඒ අවස්ථාවේ සැකකරු පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප ගෙන තිබුණි. මේ පොටෝ ගෙදරට යවනවා. ළමයා ඉගෙන ගන්නා පාසලට යවනවා. හැම තැනම පෙන්වනවා. ලක්‍ෂ 5 ක් දෙන බවට කොළයක අස්සන් කරලා දීලා මෙතිනින් බේරිලා පලයන්.

සැකකරු පැමිණිලිකරුට පැවසීය. එවිට (සැකකාරිය) ඔය ලියවිල්ලකට අස්සන් කරලා දෙන්ඩ එවිට කරදරයක් නැතිව ගෙදර යන්ඩ පුළුවන් යැයි පැවසීය.  ඇලක්ස්ට ලක්‍ෂ 5ක් දීමට තියෙනවා කියලා පැමිණිලිකරු කොළයකට අස්සන් කර දුන් බවද පැමිණිල්ලේ සඳහන්ය. ලිපිය දුන් පසු ඔහුට ඇඳුම් ලැබුණි. එම ඇඳුම් ඇඳගෙන ඔහුසිය යතුරු පැදියෙන් ගෙදරට ගියේය. සිදුවූ සිද්ධිය පැමිණිලිකරු බිරියට පැවසීය. පාසල් දරුවාට හා තමන්ට එය බලපාන බැවින් මේ වග පොලිසියට පැමිණිලි නොකළ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණි’ එහෙත් සැකකරු තර්ජනාත්මකව ලිපියේ සඳහන් ලක්‍ෂ 5 කීප වතාවක් ඉල්ලා සිටියේය. ඇලෙක්ස් අපට කරදර කරන්ඩ එපා. අපි දුකසේ මුදල් හොයන්නේ. කීවත් පැමිණිලි කරුට එයින් බේරීමට අවකාශයක් ලැබුනේ නැත. තම බිරියගෙන් මුදලින් කොටසක්ද ඉතිරිය බැංකුවෙන්ද ගෙන පැමිණිලිකරු ලක්‍ෂ 2ක් සැකකරුට දුන්නේය.

පැමිණිලිකරු සිතුණේ දැන් ප්‍රශ්නයෙන් නිදහස් වූ බවය. කෙටිකාලයක් ගිය පසු සැකකරු නැවත එලෙස තර්ජනය කරමින් පොරොන්දුව ඉටුකරපන් නැත්නම් මේ පොටෝ හැම තැනම ප්‍රසිද්ධ කරනවා පැවැසීය. සිද්ධිය මීගමුව පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය වෙත සටහන් වූයේ ඉන් පසුවයි. එම අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්‍ෂක සුනිල් පොලිස් සැරයන් වරුන්වන 7373 නිහාල් 20440 සමන් 32586 දිසානායක 31886 පාලිත පොලිස් කොස්තාපල් 60339 ලංකා තිලක නිලධාරි කණ්ඩායම විසින් පැමිණිලිකරුගෙන් නැවත ලක්‍ෂ 2කක් කප්පම් වශයෙන් සැකකරු හා සැකකාරිය ලබාගනිද්දී අත්අඩංගුවට ගන්නා ලදී. මීගමුව පොලිසියේ පොලිස් සැරයන් 7770 ජයරත්න සිල්වා මහතා නිරුවත් ඡායාරුප ජංගම දුරකතනය, කප්පම් වශයෙන් ලබාගත් මුදල් ඇතුළු නඩු භාණ්ඩ සමඟ සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙයවීය. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. පී. එන්. අමරසිංහ මහතා සැකකරු හා සැකකර ලබන 13 දක්වා රක්‍ෂිත බන්ධනා ගාර ගත කිරීමට නියෝග කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා