මොරවක වතුයායක දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ ඉඩම් හිමි වැවිලිකරු පවුල පිටින් ආගිය අතක් නෑ

මොරවක වතුයායක දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ
ඉඩම් හිමි වැවිලිකරු පවුල පිටින් ආගිය අතක් නෑ

* සැකකරු අත්අඩංගුවට ගන්න පොලිස් පරීක්‍ෂණ
* දැරියන් බංගලාවට ගෙන ගිය තරුණයන් දෙදෙනා රිමාන්ඩ්
* එක් දැරියක් දින දහයක් රඳවා ගෙන ඉඳලා

මොරවක ප්‍රදේශය අවට පිහිටි වතුයායක වතු කම්කරු නිවාසයක පදිංචිව සිටින ද්‍රවිඩ පවුලක බාල වයස්කාර දැරියන් දෙදෙනකු තුන් මසක පමණ සිට ලිංගික අතවරයට ලක්වන්නට විය. වතුයායේ සේවය කළ ද්‍රවිඩ තරුණයන් දෙදෙනකු තම හාම්පුතා වෙත වත්තේ සේවය කරන කාන්තාවන් හා මේ ගැහැණු දරුවන් සපයා දුන්නේ හාම්පුතාගෙන් වරප්‍රසාද ලබාගැනීමේ අරමුණෙනි.  හාම්පුතා වන ඉඩම් හිමිකරු වැවිලිකරු වයස අවුරුදු 40ක් පමණ වන දෙදරු පියෙකි. වතුයායේ සේවය කරන වයස්ගත කාන්තාවන් පවා මොහුගේ ග්‍රහණයට හසුවී ඇත්තේ තරුණයන් දෙදෙනාගේ මැදිහත්වීමෙනි.

කාන්තාවන්ට පවා මත්පැන් ලබාදී අස්වාභාවික තෘප්තීන් ලබාගැනීමට හාම්පුතා පුරුදුව සිටි බව ප්‍රකටය. වතුයායේ කම්කරු නිවාසයක පදිංචිව සිටින විවිධ වයස් කාණ්ඩවලට අයත්වූ පිරිමි ළමයින් සිව්දෙනකු සහ ගැහැනු ළමයි පස් දෙනකු සිටින ද්‍රවිඩ පවුලක, වයස අවුරුදු 11ක් හා 10ක් වූ බාල වයස්කාර දැරියන් දෙදෙනා තරුණයන් දෙදෙනා විසින් තම හාම්පුතාගේ බංගලාව වෙත වරින් වර ගෙනැවිත් දීමට පටන් ගෙන තිබේ. දරුවන්ගේ මවුපියන්ට මත්පැන් ලබාදී දරුවන් දෙදෙනා කැඳවා ගෙන ඒම පුරුද්දක් කරගෙන තිබුණි.

හාම්පුතා දැරියන් දෙදෙනාට ලිංගික අතවර කර යළි නිවසට යැවීම පුරුද්දක් විය. තම දරුවන් හාම්පුතාගේ ග්‍රහණයට හසුවී ඇති බව මව්පියන් දැන සිටියත් හාම්පුතාට ඇති බිය නිසා මේ බව කිසිවකුට හෙළි නොකිරීමට ඔවුන් වගබලා ගත්හ.  වතුයායේ කිසි කෙනෙක් මොහුගේ ක්‍රියා කලාපයට විරෝධයක් එල්ල කර නොතිබුනේ ඔහුට තිබූ අසීමිත බිය නිසාවෙනි. මේ අතරතුර පසුගිය දිනෙක මෙම දැරියන් දෙදෙනාගේ එක් පිරිමි සහෝදරයකු අතුරුදන්ව තිබුණි. පවුලේ සෑම දෙනාම කෙතරම් වෙහෙසුනත් ඔහුව සොයා ගැනීමට නොහැකි වී ඇත.  දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය සමඟ වතුයායේම සේවය කරන තරුණයකු පෙමින් වෙළී ඇත.

දිනක් එම තරුණයා දැරිය අමතමින්, සොහොයුරා සොයා ගැනීම සඳහා, තමන් සමඟ වත්තේ මහත්තයා හමුවීමට එන ලෙස පවසා, ඇයත් සමඟ මෙම හාම්පුතාගේ නිවෙස වෙත ගියහ.  ඉක්මනින් සොහොයුරා සොයා දීමට තමා උත්සාහ කරන බව පැවසූ හාම්පුතා දැරියව තම නිවසේ නතර කර යන ලෙස පවසා තරුණයා වෙත රුපියල් පන්සියයක මුදලක් ලබාදී ඔහුව පිටත්කර යවා ඇත. දින හයක් හාම්පුතා දස හැවිරිදි දැරිය රඳවාගෙන සිටි අතර දැරියගේ පියා තම දියණිය නිවෙසට රැගෙන ආවේ ය. ඔහු පවසා ඇති ආකාරයට එම නිවස කුඩා එකක් වන අතර, ඔහු හැරෙන්නට වෙනත් කිසිවකු එම නිවසේ සිට නැත.  පියා සමඟ යළි නිවෙසට ආ දැරිය තමන්ට සිදුවූ අතවර ගැන කීවාය.

එනමුත්, තමාගේ හා පවුලේ සැමගේ රැකියා අහිමවේදෝ, නිවසින් එළියට බහින්නට සිදුවේදෝ, තමන්ට මොහුගෙන් පහර කෑමට සිදුවේදෝ, යි යන කරුණු නිසා පියා නිහඬ විය. මත්පැනට ලොල්වූ දැරියගේ මව සහ ආච්චිත් මේ පුද්ගලයාගේ අතවරයන්ට ලක්වූ වාර ගණන අනන්ත වූ නමුත්, ඔවුන් අතින් මේ කිසිවක් හෙළිදරව් නොවූයේ ඔහු වෙත තිබූ අසීමිත බිය නිසාවෙනි. වරින් වර මෙම පුද්ගලයාගෙන් පෙර සඳහන් කළ දැරියන් දෙදෙනා අතවරයට ලක්වූ අතර, මොහුට උදව් කළ තරුණයින් දෙදෙනා ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වරින් වර දැරියන්ට අතවර කර තිබුණි. පසුගිය දිනක රාත්‍රී කාලයේ මේ පුද්ගලයා, තරුණයන් දෙදෙනාගේ සහායෙන්, දැරියන් තම වත්තේ නිවෙස වෙත ගෙන්වා ගෙන රඳවා ගෙන තිබූ අතර පසුදින අලුයම පහට පමණ අඳුරේම බාල දැරිය කිසිදු ඇඳුමක් නොමැතිව සිය නිවස වෙත දුව යන අයුරු දුටු අසල පදිංචිකරුවෙක් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබුණි.

මේ අනුව අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී ඩී. එම්. ජේ. බී. දසනායක මහතාගේ උපදෙස් මත, අකුරැස්ස පොලිස් ස්්ථානාධිපති එස්. එස්. ජයවීර මහතාගේ මඟ පෙන්වීමෙන් පොලිස් පරීක්‍ෂක සමන් මහතා සමඟ අකුරැස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්‍ෂක ලසන්ති මහත්මියත්, 5319 කා.පො.සැ. යසවතී, 5316 කා.පො.සැ. ජීවනී යන නිලධාරිනියන් ද මොරවක පොලිසියේ නිලධාරී සහායද ඇතිව මේ වතුයාය වෙත ගොස් දැරියන්ගේ මව ගෙන් දැරියන් පිළිබඳව විමසූහ.  මව එවන් දැරියන් තමා සතුව නොමැති බව පැවසුවාය. පො.ප. සමන් හා කා.උ.පො.ප ලසන්ති ප්‍රමුඛ නිලධාරීන් කැලයට ගොස් සැඟවී සිටිමින් කැලයේ සිටි දැරියන් දෙදෙනාව උපක්‍රමශීලීව අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

දැරියන්ව හාම්පුතා වෙත ගෙන ආ සැකකරුවන් දෙදෙනාව ද එදිනම අත්අඩංගුවට ගැනුණි. මූලික විමර්ශන කටයුතු වලදී කරුණු සියල්ල අනාවරණය වන්නට විය. අත්අඩංගුවට පත්වූ තරුණයන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. බාල දැරිය සමඟ මිතුරුවී සිටියැයි සැක කෙරෙන තරුණයාවද අත්අඩංගුවට පත්වූ අතර ඔහුවද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයන් සඳහා රෝහල්ගත කර ඇත. ප්‍රධාන සැකකරු වූ වතු හිමියා සහ පවුලේ සියලු දෙනා සමඟ අතුරුදන්ව ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. මුදල් වංචාවක් පිළිබඳවද මේ පුද්ගලයාට එරෙහිව පැමිණිලි ලැබී ඇති බැවින්, ඔහුව පොලිසියට අත්‍යවශ්‍ය පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතාගේ මෙහෙයවීම මත 54330 පො. සැ. කරුණාරත්න මහතා ප්‍රධාන විමර්ශන නිලධාරිවරයා ලෙසත්, පො. ප. කොඩිකාර, 56087 පො. සැ. සමන්, පො. කො. 18133 ගාමිණී, පො. කො. 27929 සුදුසිංහ යන නිලධාරීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටිති.

පොලිස් පරීක්‍ෂණ ඇසුරින් ලිපිය සැකසුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා