රේල් පාරේ කලබලයෙන් දුවද්දී පය ලිස්සලා : දුම්රියේ හැපී මරුට

රේල් පාරේ කලබලයෙන් දුවද්දී පය ලිස්සලා : දුම්රියේ හැපී මරුට

දුම්රිය පෙනි පෙනී කලබලයෙන් මාර්ගය හරහා පාර මාරුවීමට දුව ගිය පුද්ගලයකු හදිසියේ පය ලිස්සා පාර මැද ඇද වැටීමෙන් එම දුම්රියටම අසුවී මරණයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධියක් කොළඹ ජාතික මහ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. මේ අනතුරින් මරණයට පත්වූයේ ඩබ්ලිව්. ජී. චන්ද්‍රසේන නැමැත්තෙකි. කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොප් රූමි මහතා හමුවේ මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

වැල්ලම්පිටිය පොලිසියේ කොස්තාපල් ප්‍රේමචන්ද්‍ර (813440) මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් දුම්රිය රියැදුරු වන පී. ජී. සාගර ද සිල්වා මහතා මෙසේ කීය. “එදින උදේ 5 ට පමණ කොලොන්නාව තෙල් සංස්ථාවේ සිට කොළඹ දෙසට ධාවනය වූ ඉන්ධන සැපයුම් දුම්රියේ මම රියැදුරු ලෙස සේවය කළා. වැල්ලම්පිටිය හරස් මාර්ගය අසල කෙනෙක් දුම්රියට මීටර් 25 කට පමණ දුරින් එයට පිටුපා ගමන් කරනු දුටු මම දුම්රියේ නලාව ශබ්ද කළා.

දුම්රිය පැත්ත හැරී බැලූ ඔහු රේල් පාර හරහා කලබලයෙන් දිව්වා. එවිට පය පැටලී පාර මැද වැටුණා.  මම දුම්රියේ තිරිංග තද කළා. ටික දුරක් ගොස් දුම්රිය නතර වුණා.  ඉන් පසු මම එතැනට පැමිණ බැලුවා. ඔහුගේ දෙපා වෙන්වී තිබුණා. ඉන් පසු ප්‍රධාන නියාමකවරයා ලවා ගිලන් රථයක් ගෙන්වා ගෙන ඔහු වහා රෝහලට ගෙන ගියා යැයි කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා