ඉංගිරිය දිසා රෝහලේ පහසුකම් - ඖෂධ හිඟයක්

ඉංගිරිය දිසා රෝහලේ පහසුකම් - ඖෂධ හිඟයක්

රෝගීහු අසීරුවේ

ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසකම ජනතාවට තම සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස ඇති එකම රෝහල වන ඉංගිරිය දිසා රෝහල දැන් ජනතාව නොමැති ස්ථානයක් බවට පත්ව ඇත.දුම්බර, කැටේපොළ, රයිගම්වත්ත, ඉංගිරිය වත්ත, ඇදුරගල වත්ත ආදී වතුකරයන්හි ජනතාවට මෙන්ම පෝරුවදණ්ඩ, හඳපාන්ගොඩ, ඇල්ලගාව, ඌරුගල ආදී ගම්මාන රැසකම ජනතාවට යාමට ඇති එකම රෝහල වන ඉංගිරිය දිසා රෝහල කළුතර දිස්ත්‍රක්කයේ පිහිටි රෝහල් අතුරින් ඉතා පැරැණිම රෝහලකි.

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු සහ රසායනාගාර පහසුකම් නොමැති කමත් අවශ්‍ය ඖෂධ නොමැති කමත් නිසා මහජනතාව ඉංගිරිය රෝහල අතහැර දමා එය පසුකර හොරණ රෝහලට යෑමට පුරුදුව සිටින අතර රෝගීන් නොමැතිකමින් රෝහලේ වාට්ටු සියල්ලම පාහේ හිස්ව පවතින අයුරු මෙහි යන ඕනෑම කෙනකුට දැකගත හැකිය. ලේ, මුත්‍රා පරීක්ෂණ වැනි කටයුතු පවා මුදල් ගෙවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් කර ගැනීමට තමන්ට සිදුව ඇතැයි මැසිවිලි නගන රෝගීන් දුප්පත් අසරණ ජනතාව මේනිසා මහත් අසීරුතාවකට පත්ව ඇතැයි පවසති.

ඉංගිරිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යනිලධාරී ඕ. එල්. වීරසිංහ මහතා පසුගියදා පැවති ඉංගිරිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී කියා සිටියේ දැනට මෙම රෝහලේ සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් පමණක් බවත් ඔවුන්ගෙන් එක් අයකු හෝ නිවාඩු ගිය විට තත්ත්වය බැරෑරුම් වන බවත්ය. එසේම තම රෝහලට අවශ්‍ය ඖෂධ උපකරණ ආදිය ලබා දෙන ලෙස හොරණ රෝහලින් ඉල්ලීමක් කර ඇතැයිද පවසා සිටියේය.

රෝගීන් නොමැතිකමින් හිස්ව ඇති වාට්ටු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා