සොර කල්ලියක 5ක් අත්අඩංගුවට

සොර කල්ලියක 5ක් අත්අඩංගුවට

කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැකකරන සොර කල්ලියක සාමාජිකන් පස්දෙනකු ඊයේ (04) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව මොවුන් අනුරාධපුර කටුනැලියාව, නිරාවිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලකෑම් හා සොරකම් සඳහා උපයෝගී කරගත් යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් කොල්ලකෑ රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ හා කටුකැලියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සොරකම් කළ රුපියල් ලක්ෂයක් පමණ වටිනා දේපළද පොලිසිය සොයාගෙන ඇත. ඊට අමතරව සැකකරුවන් කටුකැලියාව සණස බැංකුවේ තිබූ රුපියල් 22,000 මුදලක්ද කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් තවත් සොරකම්වලට සම්බන්ධද යන්න අනාවරණය කර ගැනීමට මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන අතර, සැකකරුවන් ඊයේ (04) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක, මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී ජයසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා