මිනීමැරුමක සැකකරු මාතර අධිකරණයේදී පලා ගිහින්

මිනීමැරුමක සැකකරු මාතර අධිකරණයේදී පලා ගිහින්

මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් රැඳවීමට සිරමැදිරියක් නොමැතිකම සැකකරුවන් රැක ගැනීමට මහත් බාධාවක් බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාරයේ නිලධාරින් විසින් දන්වා ඇති බව හෙළිවේ. ඊයේ (4) දින පෙ.ව. 11.15 ට මිනීමැරුම් නඩුවක සැකකරුවකු අධිකරණයේ බංකුව මත වාඩිකරවාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගොස් තිබේ.

මෙසේ පලාගොස් ඇත්තේ වැලිගම වරකපිටිය ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකි. මොහු කොටවිල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයකදී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාව මත 2011 සැප්තැම්බර් 29 දින මාතර බන්ධනාගාරයේ රක්ෂිතභාරයට පත්කර තිබුණි. මෙම සැකකරු සමඟ තවත් සැකකරුවන් 06 දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාංචු ගලවා තිබුණි. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාංචු දමා දම්වැලේ ගැට ගැසීමට කටයුතු කරන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඔහු අධිකරණයේ ගොඩ ගසා තිබූ බැරල් මත නැගී ආවරණ දැලට ගොඩවී බිමට පැන මුහුදු වෙරළ දිගේ පලාගොස් ඇත.

මෙම සැකකරුවන් භාරව සිටි නිලධාරින් තිදෙනකු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මාතර පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා