අවිවාහක ගුරුවරියක් නිවස ඇතුළත මරා දමලා

අවිවාහක ගුරුවරියක් නිවස ඇතුළත මරා දමලා

මැදවච්චිය පොලිස් වසමේ උල්පත්ගම පදිංචිව සිටි විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරියක ගෙල සිරකර මරා දමා ඇති බව මැදවච්චිය පොලිසිය පවසයි. මෙසේ නිවස තුළ මරා දමා තිබියදී සිරුර සොයාගෙන ඇත්තේ හිටපු ඉංග්‍රීසි ගුරුවරයෙක් වූ උල්පත්ගම මැදවච්චිය පදිංචිව සිටි බෝධී බදුගේ මර්ලින් පෙරේරා විජේරත්න (78) අවිවාහක කාන්තාවයි. මැදවච්චිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මියගිය ගුරුවරියගේ සිරුර (02) දා පොලිසිය විසින් සොයාගෙන ඇත. සිරුර සොයා ගන්නා විට එය නිරුවතින් තිබූ බවද පොලිසිය පවසයි.

ගුරුවරිය අවිවාහක බවත් තනිවම නිවසේ සිටි අයෙක් බවත් පොලිසිය පවසයි. නිවසේ තිබූ කිසිවක් අස්ථානගත වී නැති බවත් පොලිසිය සඳහන් කරයි. මෙම මියගිය කාන්තාව මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ නැන්දා වන අයෙකි. මෙම කාන්තාව නිවසේ මියගොස් සිටින බවට පුද්ගලයන් දෙදෙනකුට කොළඹ ප්‍රදේශයේ අංකයකින් ඇමතුම් ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඇමතුම් ලැබුණු දුරකථන අංක කාගේද යන්න අනාවරණය කර ගැනීමටත් පරීක්ෂණ සිදුකරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව චන්දිම එදිරිමාන්න මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මරණයට හේතුව අනාවරණය කර ගැනීමට අනුරාධපුර විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතාට නියෝග කළේය. අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ, ගෙල සිර කිරීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවයි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති බී. එම්. දිසානායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, සැරයන් අශෝක ධර්මරත්න යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා