කල්පිටි මුහුදෙන් හොරෙන් ඇල්ලූ හක්බෙල්ලන් තොගයක් අවතැන් කඳවුරක් අසල වළලලා

කල්පිටි මුහුදෙන් හොරෙන් ඇල්ලූ හක්බෙල්ලන් තොගයක් අවතැන් කඳවුරක් අසල වළලලා

කල්පිටිය මුහුදෙන් නීතිවිරෝධී ලෙස අල්ලා ගන්නා ලදැයි සැකකරන හක්බෙල්ලන් තොගයක් අවතැන් කඳවුරක් අසල වළලා තිබිය දී කල්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

ලැබුණු ඔත්තුවකට අනුව කල්පිටිය පොලිස් කණ්ඩායමක් ඉකුත් 12 දා අලුයම 3.00 ට පමණ කල්පිටිය අම්මාකෝට්ටම් හි අල්මනාර් සරණාගත කඳවුර අසලදී වැටලීමක් සිදුකර, කරන ලද සෝදිසියකදී වළලා තිබූ මෙම හක්බෙල්ලන් තොගය සොයා ගැනීමට හැකි වී අඇති අතර හක්බෙල්ලන් සමඟ ඒවා අයිතිකරු යයි සැක කරන පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට එම පොලිස් නිලධාරීන් සමත් වූහ.

හක්බෙල්ලන් පුරවන ලද පොහොර බෑග් 66 ක් මෙසේ වළලා තිබී සොයා ගැනීමට එම පොලිස් නිලධාරින්ට හැකිවූ අතර, මෙසේ සොයා ගනු ලැබූ හක්බෙල්ලන් තොගයේ වටිනාකම තක්සේරු කර නොතිබුණි.

විසිතුරු බඩු නිෂ්පාදනය සඳහා මෙම හක්බෙල්ලන්ට බටහිර රටවල හොඳ ඉල්ලුමක් තිබෙන බැවින් හක්බෙල්ලන් පිටරට පටවන ජාවාරම්කරුවෙකුට යැවීමට මේවා මෙසේ වළලා තිබී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම හක්බෙල්ලන් තොගය සමඟ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අම්මාකෝට්ටම් හි මොහොම්මදු කාශීම් රියාලිදීන් යන අයෙක් 12 දා සවස පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 16 දා තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කෙරිණ.

මෙම වැටලීම සිදුකර හක්බෙල්ලන් තොගයත් සමඟ සැකකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඇල්ප්‍රඩ් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ පො. සැ. 4975 ලාල්, පො. කො. 28160 සුසිල්, පො. කො. 33613 වැලිවෙහෙර, පො. කො. 69371 රණසිංහ, පො. කො. 69640 චතුරංග, පො. කො. 69643 පුෂ්පකුමාර, පො. කො. 76522 ලක්මාල්, පො. කො. 7874 නිශාන්ත නම් වූ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා