ඕපදූප කියවන ගුරුවරියන් දෙදෙනාට විදුහල්පතිගෙන් මතක හිටින්න පාඩමක්

ඕපදූප කියවන ගුරුවරියන් දෙදෙනාට විදුහල්පතිගෙන් මතක හිටින්න පාඩමක්

* වාඩිවෙලා කතා කරන්න පුටු ගෙනත් දීලා

ඕපදූප කියමින් ඉගැන්වීම් කටයුතු මඟ හරින ගුරුවරියන් දෙදෙනකුට සිසුවියන් ලවා පාඩමක් ඉගැන්වූ විදුහල්පතිවරයකු ගැන අසන්නට ලැබිණි.එක්තරා පාසලක ගුරුවරියන් දෙදෙනකු පාසලට පැමිණි අවස්ථාවේ සිට මුණගැසෙන සෑම අවස්ථාවකම කුමක් හෝ කතාවක් පටන්ගෙන එය දිගින් දිගටම කරගෙන යන්නේ ඉගැන්වීම් කටයුතු ද අතපසු කරමිනි. මේ ගුරුවරියන්ට මේ සඳහා තැනක් වේලාවක් අවශ්‍ය නැත. දිනක් මේ දෙදෙනා ශාලා දෙකක ඇති පංති දෙකකට උගන්වා කාලපරිච්ඡෙදය හමාර වන සීනුව නාද වන විට ඊළඟට ඉගැන්වීමට ඇති පංති වෙත යාමට පිට වූහ.

මැද මිදුලේ දී දෙදෙනා මුණගැසිණි. සුපුරුදු පරිදි කතාව ඇරැඹූහ. මේ අවස්ථාව ඊට නුදුරින් කාර්යාලයේ සිටි විදුහල්පතිවරයාගේද ඇස ගැටිණි. විනාඩි කීපයකට පසු නැවත විදුහල්පතිවරයා බැලූ විට තවමත් කතාව අවසන් නැත.දෙදෙනා මැද මිදුලට වී බරටම කතාව කරගෙන යයි. විනාඩි 10 ක් 15 ක් පමණ විමිසිල්මත් වූ විදුහල්පති මේ දෙදෙනාට යස පාඩමක් ඉගැන්වීමට උපායක් යෙදවීය. අසල පන්තියක සිටි සිසුවියන් දෙදෙනකු කැඳවූ විදුහල්පතිවරයා අර හිටගෙන ගිනි අව්වේ කතා කරන ටීචර්ලට පුටු දෙකක් ගෙන ගිහින් දෙන්න යැයි පැවැසීය.

අණට කීකරු වූ සිසුවියන් මේ කිසිවක් නොදැන පුටු දෙකක් රැගෙන ගුරුවරියන් සිටි තැනට ගොස් තබා ආ ටීචර් වාඩි වී කතා කරන්නැයි පවසා ආපසු පංති කාමර වෙත දිව ගියහ. ගුරුවරියන් දෙදෙනා වට පිට බලන විට ඒ දෙස බලා සිටින අනෙකුත් පංතිවල සිසුන් හා ගුරුවරුන් දැක එක එල්ලේම තමන්ට හිමි පංතිවලට වැදුණාහ. ඉන් පසු කිසි දිනක මේ ගුරුවරියන් කතා කර කර සිටිනු දක්නට නොලැබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා