තරුණියකට මරු කැඳවූ කැබ් රියේ රියැදුරු සැඟවී සිටිය දී පොලිස් අත්අඩංගුවට

තරුණියකට මරු කැඳවූ කැබ් රියේ රියැදුරු සැඟවී සිටිය දී පොලිස් අත්අඩංගුවට

* මියගිය යුවතිය තවමත් හඳුනාගෙන නෑ

* කැබ් රියේ ගැටුණු යතුරුපැදිකරුට අසාධ්‍යයි

තරුණියක් මරුමුවට පත් කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කරමින් පලාගොස් සැඟව සිටි කැබ්රථ රියැදුරකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාකඳුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 23 ක පමණ තරුණියක් බවට පොලිසිය සැක කරන අතර මෙතෙක් ඇය කාගේ කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි මීගමුව පොලිසිය කියයි. දේහය හඳුනා ගැනීම සඳහා මීගමුව දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මීගමුව තම්මිට පල්ලිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ එම තරුණිය තුවාල ලැබූ අයගේ යතුරු පැදියේ නැගී ජනවාරි 01 වෙනිදා රාත්‍රී 8.30 ට පමණ ගමන් කරමින් සිට ඇත. බරපතළ තුවාල ලැබූ අය යතුරුපැදිය ධාවනය කර තිබේ. කැබ්රථ රියැදුරු කැබ් රථය පදවාගෙන යතුරු පැදිකරුට මුහුණ ලා වැරැදි පැත්තෙන් පැමිණීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය දුටු අය පැවසූහ. තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් පොලිසියට මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇත.

මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හල්ලව මහතා ගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා සහ පොලිස් සැරයන් 41333 කහවිට ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා