පාරේ වැටී සිටි මරණාසන්න රෝගියකු මැදියම් රැයේදී රෝහලට ගෙන ගිය ආදර්ශවත් රියැදුරෙක්

පාරේ වැටී සිටි මරණාසන්න රෝගියකු මැදියම් රැයේදී
රෝහලට ගෙන ගිය ආදර්ශවත් රියැදුරෙක්

මැදියම් රාත්‍රි 12 ට පමණ රිය අනතුරකට ලක්ව මරණාසන්නව මහමග තනිවී සිටි පුද්ගලයකු රෝහල්ගතකර ජීවිතය බේරීම සඳහා තනිවම සිය කාලය, ශ්‍රමය කැපකළ ත්‍රිරෝද රථ රියැදුරෙකු පිළිබඳව ගම්පහ මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයෙන් අසන්නට ලැබුණි.ඉකුත් 25 වන දින අංක 612/20/1, මාහරගම , මූදූන්ගොඩ පදිංචි හේවාපේඩිගේ නිශාන්ත මහතා තමාට අයත් ත්‍රිරෝද රියෙන් දාරලුවේ සිටින තම ඥාතියකු බැලීම සඳහා පිටත්ව ගොස් තිබුණි.

ඥාතියාගේ නිවෙසේ බොහෝ වේලාවක් රැඳුණු නිශාන්ත මහතා රාත්‍රි 11 ට පමණ නිවෙස බලා එනවිට ගම්පහ, පොලිස් වසමේ හංසගිරි පාරේ 15 වෙනි පටුමග අසල විදුලි කණුව ආසන්නයේ පුද්ගලයකු වැටී සිටිනු වාහනයේ විදුලි පහන් එළියෙන් දක්නට ලැබුණි. මේ පිළිබඳව තරමක් සැක සිතූ නිශාන්ත මහතා තම වාහනය ආපසු හරවාගෙන සිද්ධිය දුටු ස්ථානයට පැමිණ ඇත.

එහිදී පුද්ගලයෙක් සිහිසුන්ව බිම වැටී සිටි අතර ඔහු ආසන්නේය ඉදිරි පසට දැඩිලෙස හානි වූ යතුරු පැදියක්ද ආරක්ෂක හිස් වැස්මක්ද තිබෙනු දැක ඇත. මෙම පුද්ගලයා කිසියම් අනතුරකට මුහුණ දී ඇති බව වටහගත් නිශාන්ත මහතා ඔහු රෝහලකට ගෙනයෑම සඳහා තම ත්‍රිරෝද රියට ඔසවාගෙන යාමට කිහිපවරක් උත්සාහ දැරුවත් එය අසාර්ථක වී තිබේ.

වේලාව මැදියම් රැය වූ හෙයින් ඒ අවට නිවැසියන්ද නින්දට ගොස් තිබූ අතර පාරේ මගීන් කිසිවෙක් නොවූහ. නිශාන්ත මහතාට කළ හැකිව තිබුණේ පාරේ තවත් වාහනයක් එනතුරු රෝගියා අසල රැඳී සිටීම පමණය. ඒ අතරතුර කාලයේදී වරින්වර මෙම ස්ථානය පසුකර වාහන කිහිපයක් ගමන් කළ නමුත් ඒ කිසිවෙක් නිශාන්ත මහතාගේ සංඥාවට ප්‍රතිචාර නොදක්වාම වේගයෙන් ගමන් කර ඇත.

මේ වනවිට දැඩි වෙහෙසටත් කළ කිරීමටත් පත්ව සිටි නිශාන්ත මහතා එම ස්ථානය පසු කර යෑමට තවත් මෝටර් රථයක් එනු දැක එය නවත්වා ගන්නා අදහසින් පාර මැදට පැන නවත්වන ලෙසට සංඥාකර ඇත. එම වාහනය නැවැත්වීය. එහි රියැදුරුට නිශාන්ත කරුණු පැහැදිලි කළේ ය. කාරණය ඇසූ රියදුරු ‘මම වෛද්‍යවරයෙක්’ කියා ඔහු හඳුන්වා දෙමින් රෝගියා ළඟට ගොස් නාඩි පරීක්ෂාකර බලා තවම නාඩි වැටෙනවා. දැන්ම රෝහලට ගෙන ගියොත් සමහර විට ජීවිතය බේරාගන්න හැකිවෙතැයි’ පැවසීය.

එයින් නොනැවතුණු මෙම වෛද්‍යවරයා රෝගියා නිශාන්තගේ ත්‍රිරෝද රියට ඔසවාගෙන යාමටද සහාය වී ඇත. මමත් ඔයා සමගම රෝගියා අරගෙන රෝහලට යන්න එනවා. නමුත් මම මේ අවේලාවෙ යන්නෙ තවත් අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කරන්න යයි පැවසීය. වෛද්‍යවරයාගේ පිහිටෙන් රෝගියා වාහනයට නංවා ගත් නිශාන්ත ඔහු රෝහලට භාරදී, සිද්ධිය පිළිබඳව පොලීසියටද දැනුම් දී සිය නිවසට යෑමට පිටත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා