අඟුරුවැල්ල බෝපැත්ත පාලම කැඩිලා: ගමන් අඩාළයි

අඟුරුවැල්ල බෝපැත්ත පාලම කැඩිලා: ගමන් අඩාළයි

අඟුරුවැල්ල, බෝපැත්ත මාර්ගයේ පාලම කැඩී යෑමෙන් ඒ අවට පවුල් රැසක ජනතාව බලවත් අසීරුතාවකට පත්ව සිටිති. මීට මාස හතරකට පමණ පෙර මෙටල් ගල් පැටවූ ලොරියක් පාලම මඟින් ගමන් කිරීමේදී මෙම පාලම කඩා වැටුණු බවද රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මඟින් මෙම පාලම මෙතෙක් ඉදි නොකිරීමෙන් තමන් අපහසුතා රැසකට පත්ව සිටින බවද ප්‍රදේශවාසීහු පවසති.

ලියනගේ විමලාවතී මහත්මිය - දැනට මාස හතරකට පමණ පෙර මෙටල් ගල් පැටවූ ලොරියක් පාලම මතින් ගමන් කිරීමේදී පාලම කඩා වැටුණා. ගමේ රබර්, පොල්, තේ දලු ටික විකුණගන්න අපිට විදියක් නැහැ. වෙළෙන්දෝ ගමට එන්නෙත් නැහැ. අපට ගෙනයන්න දැන් ක්‍රමයකුත් නැහැ. ලෙඩක් දුකක් වුණාම බේත් ටිකක් ගන්න එදා රුපියල් තිහකින් හතළිහකින් අඟුරුවැල්ලට ආ අපිට අද රුපියල් තුන්සීයක් හාරසීයක් දීලා වටෙන් එන්න වෙනවා.

පී.ආර්.ඉන්ද්‍රසේන මහතා - මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට, මන්ත්‍රීවරුන්ට කීවත් වැඩක් වුණේ නැහැ. මේක මුළු ගමටම කරදරයක්. ඉඹුලාන, වඳුරුපිටිය, බෝපැත්ත, කන්දේවත්ත, කඩදර, කිතුල්ගහදෙණිය බෝගමුව වගේ ගම් හය හතක ජනතාව මේ හේතුවෙන් අසරණ වෙලා.

චන්දන ඩයස් මහතා - ගුරුගොඩ ඔයේ අතු ඇළක් මතින් මේ බෝපැත්ත පාලම ඉදිකර තිබෙනවා. මේ පාලම අසළ කාලයක් වැලි ගොඩදමලා පාලමේ පැති බැමි මතු වී තිබුණා. ගමේ පිරිස් ශ්‍රමදානයෙන් ඒවා සකස් කළා. වඳුරුපිටිය ගමේ නිවෙසකට ගල් ගෙන ආ ලොරියක් නිසා පාලම කඩා වැටුණා. ව්‍යාපාරිකයෙක් පෞද්ගලික වියදමින් තාවකාලික යකඩ පාලමක් හදලා දුන්නා. පසුගිය වැස්සට ඒකත් කඩාගෙන වැටු¼ණා. රට පුරා කෙරෙන සංවර්ධන වැඩත් එක්ක මේක සොච්චම් වැඩක්.

ආර්.ඒ. නන්දාවතී මහත්මිය - පාලම ඉරිතලලා තියෙන කොටම ප්‍රාදේශීය සභාවෙන් බෝඩ් එකක් දාලා තිබුණා නම් මේ හානිය වෙන්නේ නැහැ.

කඩා වැටුණු පාලම හා ගම්වාසින් තාවකාලිකව ඉදිකරගෙන ඇති ගමන් මග .

ඡායාරූපය :- රඹුක්කන විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා