අතමිට මුදල් හිඟවෙද්දී බිරියගේ ආදර සැලකිලි අඩුවෙලා

අතමිට මුදල් හිඟවෙද්දී බිරියගේ ආදර සැලකිලි අඩුවෙලා

පියදාස පෞද්ගලික ආයතනයක ටික කලක් රැකියාවක නිරත විය. තමන්ගේ තරමේ හැටියට කුඩා නිවෙසක්ද ගොඩනඟා ගත්තේ ය. නෙත ගැටුණු පළමු දිනයේ බැඳුණු සෙනහසින්ම ඇය විවාහ කර ගත්තේ ය.ඇය රූමත්ය. ධනවත්ය. උගත්ය. මෙම විවාහය සිදුවූයේ දෙදෙනාගේ පෙර පින් මහිමයකට වුවත් ඒ කා නිසාද යන්න සැමට ගැටලුවක් විය.

එක් දරු පියෙක් වූ පියදාස රැකියාවට අමතරව විවිධ කාර්මික වෘත්තින්හි දක්ෂ ලෙස නියැළී සිටින බැවින් ‘විශ්මකර්ම’ යන අන්වර්ථ නාමයෙන්ද ඔහු පිදුම් ලැබීය. පියදාස හදිසියේම රෝගාතුර විය. රෝග ආරම්භයේදීම ආබාධය දුරුකර ගැනීමෙන් පසු රෝගියා විවේක සුවයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරුන් අවවාද දී ඇත. ඔහු ස්ථීර රැකියාවක නොයෙදන බැවින් ආර්ථිකයටද පහරක් වැදුනේ ය. මේ නිසාවෙන් අතමිට මුදල් ගැවසීමද අවම විය.

ක්‍රම ක්‍රමයෙන් පියදාසට බිරියගෙන් ලැබෙන ආදර සැලකිලි පැවති සෙනෙහස හා බිඳුණු සිත අතර පරතරය පැහැදිලිවම පියදාසට අවබෝධ විය. පියදාස එදින කඩමණ්ඩියට ගියේ විශේෂයෙන්ම ලොතරැයි පතක් මිලදී ගැනීමට ය. නිවෙසට පැමිණි ඔහුට දැනුනු බඩගින්න දරාගත නොහැකිව අසරණව ඇඳ මත හාන්සි වූයේ ලොතරැයි පතද ළය මත තුරුළු කර ගනිමිනි.

ගතවූයේ නිමේෂයකි.

“පියදාස උඹට මොකද දැන් ඉතින් ඔන්න ස්වීප් එක ඇදිලා ලක්ෂ 10 ක්. පවුලට කියපන් ඊට පස්සෙ උඹට වෙනදා වගේම සලකයි”

“එහෙනම් මචං උඹම කියපන් බලන්න..”

මේ දෙබස ඇතිවුණේ පියදාසගේ හිතවතෙක් සමඟයි.

මිතුරා ඉවත්ව ගියේ ය.

සුදූ ඔයා දවල්ට බත් කෑවෙත් නෑනෙ පව්නෙ. එන්න ආ බත් කාලා බුදියගන්න....

පියදාසගේ බිරිය ඔහු අසලට පැමිණ සිටියේ තැම්බූ බිත්තරයක්ද සහිත බත් පිඟානක්ද අතැතිවය.

ඔහු නැගිට්ටේ සුදුගේ බත් පිඟාන ගෙන අනුභව කිරීමටයි.

නමුත් තමා අසල කිසිවකු නැත. ස්විප් ටිකට් එක ද අතින් ගිලිහී ගොස් තිබිණ. සල්ලි තියනවනං කොයි ගෑනිත් සලකන්නෙ කියා තොල් මතුරමින් පියදාස නැවත ඇඳ මත වැතිරුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා