සිංහලේ අන්තිම රජු ගේ අධිකරණ නායකයකු විසූ නිවෙසක් තලාතුඔය නුගලියද්දේ

සිංහලේ අන්තිම රජු ගේ අධිකරණ නායකයකු විසූ නිවෙසක් තලාතුඔය නුගලියද්දේ

අධිකරණ ශාලාව-විත්තිකරුවන් රැඳවූ කූඩුව අදටත් දැකගත හැකියි

අධිකරණ ශාලාවේ උළුවස්ස සහ
අප්පු පාවිච්චි කළ අව් අත්ත

සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ ප්‍රාදේශීය අධිකරණ නිලධාරියෙකු විසූ නිවසක් තලාතුඔය නුගලියද්දේ ඓතිහාසික සගම රජමහා විහාරය ආසන්නයේ ඇත.

ඔහු හැඳින්වූයේ අප්පු නොහොත් සැරයන් යන නමිනි. සැබෑ නම වූයේ හේරත් රාළ ය. ගමේ ඇතිවූ ආරවුල් විසඳා සමථයකට පත් කිරීම ඔහුගේ රාජකාරිය වී ඇත.

ඔහුට විසඳිය නොහැකි වූ ආරවුල්වල විත්තිකරුවන් ඇහැලේපොල නිළමේට ඉදිරිපත් කරන තෙක් රඳවා සිටි කූඩුවක් අද ද එම නිවසේ ඇත. එම නිවස හඳුන්වනුයේ දෙවටේ ගෙදර නමිනි. එහි නඩු විසඳූ අධිකරණ ශාලාවක් ද ඇත.

එය වර්තමාන පදිංචිකරුවන් විසින් යම් යම් වෙනස්කම්වලට භාජනය කර ඇත.

විත්තිකරුවන් රඳවා තැබූ කූඩුව.

එම අධිකරණ ශාලාවට ඇතුළු වන දොර උළුවස්ස අඩි අටක් පමණ උස වන අතර එක් උළුවහු කණුවක් අඩි එකහමාරක් පමණ පළල ය.

දොර අඩි තුනහමාරක් පමණ පළල වන අතර ඝනකම අඟල් හයක් පමණ ඇත. අප්පු නිවසින් බැහැරව රාජකාරි සඳහා යද්දී ඔහුගේ ආවතේව කරුවන් විසින් හිස ආවරණය කිරීම සඳහා පසුපසින් රැගෙන ගිය අව් අත්ත අද ද සුරක්‍ෂිතව තබා ඇත.

මොහු ගේ කිට්ටු හිතවතුන් වී ඇත්තේ නුගලියද්දේ අප්පු, නුගලියද්දේ මොහන්දිරම්, නුගලියද්දේ හංගිඩි නයිදේ ආදීන් ය.

මොහුට අයත් අශ්වයකු හා තුවක්කුවක් ද තිබූ බව ගැමියෝ පවසති. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පත්තිරිප්පුව හා මහනුවර කිරිමුහුද ඉදිකිරීම සඳහා මොහු විසින් සේවකයන් සපයා ඇත. පත්තිරිප්පුව ඉදිකළ දේවේන්ද්‍ර ආචාරියාට නයිදෙලා සපයා ඇත්තේ ද මොහු විසිනි.

පසුව ඉංගී‍්‍රසින් විසින් රට අල්ලා ගත් පසු ඔවුන්ට ද හිතවත්ව හිඳ ඇත. ඔහු නුගලියද්දේ අප්පු, කපුලියද්දේ පුංචි අප්පු ආදීන් සමග එක්ව සුද්දන්ට ඔත්තු සපයා ඇත.

දැනට එම නිවසේ පදිංචිව සිටින්නේ අප්පුගේ හතර වැනි පරම්පරාව ය. එච්. එම්. සෙනවිරත්න බණ්ඩා එම හතර වැනි පරම්පරාව නියෝජනය කරයි. ඔහුගේ මව එච්. එම්. රත්නමැණිකේ විවාහ වී ඇත්තේ අප්පුගේ මුනුපුරකු සමඟ ය. අප්පුගේ පෙළපත් නාමය වී ඇත්තේ හේරත් මුදියන්සේලාගේ යන්න ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා