බංග්ලාදේශය දැන් අලුත් කණ්ඩායමක්

බංග්ලාදේශය දැන් අලුත් කණ්ඩායමක්

- පාකිස්තාන නායක

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බවත් ඇත්ත වශයෙන්ම මෙය අලුත් බංග්ලාදේශ කණ්ඩායමක් බවත් ජයග්‍රාහී පාකිස්තාන නායක මිස්බා උන් හක් පැවසීය. ‘ඇත්තම කියනවා නම් මේ තරගයේ නියම ජයග්‍රාහකයෝ බංග්ලාදේශයයි. ඔවුන් ක්‍රීඩා කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය යි” උල් හක් පෙරේදා අවසාන තරගයෙන් පසුව කියා සිටියේ ය.

පාකිස්තානය මෙවර ආසියානු කුසලානය දිනා ගත්තේ බංග්ලාදේශය සමග තියුණු තරඟයකින් පසුව යන්තම් ලකුණු 2 කිණි. පාකිස්තානයේ කඩුලු 9 ට ලකුණු 236 හඹා ගිය බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 234 කි.

ජයග්‍රහණය සඳහා කඩුලු 3 ක් අතැතිව තවත් ලකුණු 9ක් පමණක් අවශ්‍යව තිබූ බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. “එය අගනා ජයග්‍රහණයකි. සියලුම ක්‍රීඩකයෝ හොඳින් සටන් කළා. සෆ්රාස් අහමඩ් ගේ ඉනිම (නොදැවී 46) අපට ඉතාමත් වැදගත් වුණා” යැයි උල් හක් කියා සිටියේ ය.

මේ තරගාවලියේ සෑම තරගයකදීම තම කණ්ඩායම ඉතාමත් දක්‍ෂ අයුරින් ක්‍රීඩා කළ බවත් මේ තරගාවලියෙන් සෑහෙන දෙයක් ලබා ගත් බවත් බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහිම් ප්‍රකාශ කළේය. “ෂකිබ් හා ටමිම් යන දෙදෙනාව දස්කම් අතරේ සිටි පිතිකරුවනුයි. ඔවුන්ගේ දැවී යාම තරගයේ තීරණාත්මක අවස්ථාව වුණා. අවසාන ඕවරයේ දී අපි ලකුණු 19 ක් ලබා දුන්නා. එයද තීරණාත්මක සාධකයක් බවට පත් වුණා” රහිම් සඳහන් කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා