බන්ධනාගාරයෙන් පැන ආ සැකකරුවකු කොටුව දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට

බන්ධනාගාරයෙන් පැන ආ සැකකරුවකු
කොටුව දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාරයෙන් දින කිහිපයකට පෙරදී පැන ගොස් සිටි සිරකරුවකු ඊයේ (23) සවස කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු ඔයාමඩුව දැයට කිරුල ප්‍රදර්ශන භූමියේදී ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ජනතාව රට යවන බව පවසා ලක්‍ෂ ගණන් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබුණි.

අදාළ සැකකරුට මුදල් ලබාදුන් නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි බුද්ධික ප්‍රසන්න බණ්ඩාර නැමැති අය සැකකරු කොටුව දුම්රිය ස්ථානයේ සිටින බවට ඊයේ (23) සවස 5.00ට පමණ කොටුව දුම්රිය ආරක්‍ෂක සේවයට පැමිණිලි කොට ඇත. වහාම ක්‍රියාත්මක වූ දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බව කොටුව දුම්රිය ආරක්‍ෂක සේවාවේ ස්ථානාධිපති ආර්. ජී. ජී. ධර්මරත්න මහතා පවසයි. මැදවච්චිය පොලිසියට මුදල් වංචා සම්බන්ධව පැමිණිලි ගණනාවක් තිබෙන බවද අනාවරණය විය.

අදාළ සැකකරු හට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පතක්ද නොමැති බව දුම්රිය ආරක්‍ෂක සේවය පවසයි. සැකකරු කොටුව පොලිසිය වෙත බාරදී ඇත.කොටුව දුම්රිය ආරක්‍ෂක සේවයේ ස්ථානාධිපති ආර්. ජී. ජී. ගුණතිලක මහතාගේ උපදෙස් මත උප පරීක්‍ෂක සිබේරා, ආරක්‍ෂක නිලධාරීන් වන කිත්සිරි අමරසේකර, වජිර පද්මලාල්, රංජිත්, ගුණසේකර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා