සියඹලාණ්ඩුව කෝන්ගස්පිටිය විදුහලේ දරුවන්ට උගන්වන්න ගුරුවරු නෑ

සියඹලාණ්ඩුව කෝන්ගස්පිටිය විදුහලේ දරුවන්ට උගන්වන්න ගුරුවරු නෑ

පරිගණක ඒකකයට ඉබි යතුරු දාලා

සියඹලාණ්ඩුව නැගෙනහිර බක්මිටියාවත් අතර දෙමටකටුව වාඩිගල වේරගොඩ පරණවත්ත කොන්ගස්පිටිය ජනතාවගේ දරුවනට ඉගෙනීමට ඇති කෝන්ගස්පිටිය ප්‍රාථමික පාසල මේ ගම්මාන වලට ඇති එකම රාජ්‍ය ආයතනයයි.

එදාට වඩා කෝන්ගස්පිටිය වෙනස්ව ඇතත් පාසලේ අඩුපාඩු ඇති බව ගම්වාසීහු කියති.

පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඩී. ඇම්. මුතුබණ්ඩා මහතා - මමත් ඉගෙන ගත්තේ මේ පාසලෙන්. අපේ ළමයි ඉගෙන ගත්තේත් මේ පාසලින්. කිලෝමීටර් 16 ක් මග ගෙවා වෙනත් පාසලකට යවන්න අපට හැකියාවක් නැහැ. ගොවිතැනින් ජීවත්වන අපට ඒ සඳහා කාලය වෙන්කර ගැනීම දුෂ්කරයි.

පාසලට අවශ්‍ය ගුරුවරු ලබා දෙනවා නම් අපේ ළමයි ඉගෙන ගනීවි. එදා ප්‍රාථමික පාසලක් වුණත් සාමාන්‍ය පෙළ දක්වා අද පන්ති පැවැත්වෙනවා. අවශ්‍ය ගුරුවරු නැති නිසා ප්‍රතිඵල නැහැ. එන ගුරුවරු ඔවුන් ජල විදුලි මාර්ග පහසුකම් නැති නිසා ආ දින සිට උත්සාහ කරන්නේ කාගේ පිහිටෙන් හරි වෙනත් පාසලකට පිටවෙලා යන්නයි.

මෙම ගම්මාන අවට කිලෝමීටර් 10 ක් පමණ නුදුරු ගුරුවරු අය සිටියද ඔවුන් මෙහි එවීමට සමත් කෙනෙක් නැත. කොන්ගස්පිටිය විදුහලේ ගුරු හිඟයට පිළියමක්ලෙස සිවිල් ආරක්ෂක බළකායෙන් සේවය ලබා දෙන්න සිවිල් ආරක්ෂක සේවය කටයුතු කළ නිසා සිවිල් ආරක්ෂක භටයකු ගණිත විෂය ඉගැන්නුවා.

මෙම විදුහලට ගොඩනැගිලි හිඟයි. පායන කාලයට බොන්න වතුර නැහැ. පරිගණක ඒකකයක් ඌව පළාත් සභාවෙන් දුන්නද ඒ සඳහා ගුරුවරයෙක් නෑ.

කේ. එම්. චන්ද්‍රසිරි ජයවර්ධන මහතා - කෝන්ගස්පිටියේ පදිංචි මා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරනවා. පාසල්වල සේවය කරන්න අවස්ථාව අපිට ලැබුණා. මම දන්න ගණිතය විෂය ගමේ නංගිලා මල්ලිලාට ඉගැන්නුවා. 16 දෙනෙක් සුදුසුකම් ලබා උසස් පෙළ කරන පිරිසක් බිහි කළා. මට වැටුප් ලැබුණේ සිවිල් ආරක්ෂක බළකායෙන්. ඔය අතර මගේ සේවය අවශ්‍ය නැහැ කියලා අධ්‍යාපන විගණන නිලධාරීන් කීවා. මා සේවය නැවැත්වුවා. තවමත් ගණිතය විෂයට ගුරුවරයකු නැහැ.

ඩී. එම්. හේරත්මහතා - වසර 6 පමණ පෙර පරිගණක ඒකකයක් පිහිටුවා එහෙත් ගමේ දරුවෝ පරිගණකය තවම අල්ලා බලාවත් නැහැ.

එය කියාදීමට ගුරුවරයෙක් නෑ. පරිගණක කාමරය ඉබි යතුරු දාලා වහලා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා