රජයේ ඉඩමක කළුගල් කැඩී යැයි සැක දෙදෙනෙක් අධිකරණය හමුවට

රජයේ ඉඩමක කළුගල් කැඩී යැයි සැක දෙදෙනෙක් අධිකරණය හමුවට

රජයට රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදු කරමින් අවුරුදු හතක් තිස්සේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් කළුගල් කැඩීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පානදුර පරිසර පොලිසියේ ස්ථානාධිපති වසන්ත අනවරත්න මහතා පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ජී. දිසානායක මහතා වෙත කරුණු වාර්තා කරමින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් දෙදෙනා සමග කළුගල් කඩන ආම්පන්නද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔවුන් කියා සිටියේ පෞද්ගලික ඉඩමක ඔවුන් කළුගල් කැඩීම සඳහා බලපත්‍රයක් භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයෙන් නීත්‍යානුකූල ලෙස ලබාගෙන ඇති බවය. කරුණු විමසීමෙන් පසු ඔවුන් ශරීර ඇප මත නිදහස් කෙරිණි.

පොලිස් පරීක්ෂණය අනුව අදාළ කළුගල් නිධිය පිහිටා ඇත්තේ පෞද්ගලික ඉඩමකද නැතහොත් රජයේ ඉඩමකදැයි කරුණු අනාවරණය නොවීය.

පානදුර ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනකු ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් මහේස්ත්‍රාත්වරයා කරුණු විමසුවේය. ඔවුන් මේ කළුගල් නිධිය ගැන කරුණු කීමට අපොහොසත් වුහ.

අනතුරුව පාණදුර මහේස්ත්‍රාත්වරයා පානදුර ප්‍රාදේශීය ලේකම් කේ. ජී. විජේසිරි මහතා අධිකරණයට ගෙන්වා කරුණු විමසීය.

ඉඩමේ හතර මායිම ඔහු නොදනී. මෙම ඉඩම රජයේ ඉඩමක්ද නැද්ද යන්න සොයා ගැනීමට පිඹුරුපත් සොයා මැනුම් කටයුතු සිදු කර ඇති බව අධිකරණයේදී සඳහන් කෙරිනි.

භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කළමනාකාර කේ. වී. ජගත් මහතාද අධිකරණය හමුවට කැඳවා මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීය.

අදාළ ඉඩමේ කළුගල් කැඩීමට අයිඇම්එල් / සී / 2257 දරන බලපත්‍රය සැකකරුවන්ට ඔහු නිකුත් කර ඇති බව ඔහු පිළිගත්තේය.

ඒ අනුව නඩුවට අදාළ ඉඩම සඳහා මෙම බලපත්‍රය ලබාදී තිබේද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවා මහේස්ත්‍රාත්වරයා නඩුව පසුවට කල් දැම්මේය.

නීතිඥ සුගත් හඳුන්ගේ මහතා සමග නීතිඥ දුල්ෂිකා රත්නායක මිය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා