පෞද්ගලික ආයතනයක රැකියාව කළ දියණිය නිවෙසට පැමිණි දින සිටම කල්පනා කරමින් කාලය ගත කළා

පෞද්ගලික ආයතනයක රැකියාව කළ දියණිය නිවෙසට පැමිණි දින සිටම කල්පනා කරමින් කාලය ගත කළා

- පියා සාක්කි දෙයි

තරුණියක් තම ප්‍රේම සම්බන්ධතාවය කඩා වැටීමෙන් සිත්තැවුලට පත්ව වස පානය කර මියයෑමේ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල මඩාටුගම ඉහළ කොටාගල පදිංචිව සිටි කේ.එම්. ශාලිකා සුදර්ශණී නැමැති අවිවාහක තරුණියකි.

මේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එච්.එම්. පී.බී. උඩන්ගමුව මහතා පේරාදෙණිය රෝහලේදී පැවැත්විය.

වසපානය කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහලටත් එම රෝහලින් පේරාදෙණිය රෝහලට මාරු කිරීමෙන් අනතුරුව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මේ පිළිබඳව පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් මියගිය ඇයගේ පියා වූ කේ.එම්. කපුරුනයිදේ (52) නැමැති අය සාක්කි දෙමින් මෙසේ කීවේය.

මම විවාහ වී අවුරුදු 26ක් වෙනවා. දරුවන් තිදෙනෙක් සිටිනවා දියණිය කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට නිවෙසට පැමිණ සිටියා. ඇය කල කිරීමෙන් කල්පනා කරමින් සිටියා. සිද්ධිය වූ දින මම කුඹුරේ සිටින විට දැනගැනීමට ලැබුණ දියණිය වස පානයකර ඇති බව අසල්වාසින්ගේ ද සහයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කළා. එම රෝහලින් පේරාදෙණිය රෝහලට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දියණිය මියගොස් ඇති බව දැනගැනීමට ලැබුණා.

මියයෑමට පෙර දියණියට කතාකළත් කතා කෙළේ නැහැ. දියණිය ලියනලද ලිපියක් ලැබුණා. එහි සඳහන් වෙලා තිබුණා මා “සදා” සමග ඇතිකරගත් ආදරය මට තනිව ජීවත් වෙන්න බැහැ. මට සියලු දෙනාම සමාවෙන්න යනුවෙන් සඳහන් කර තිබුණා.

දියණිය රැකියාවල කළ ආයතනයේ සේවයකළ තරුණයෙන් සමග ඇතිකර ගෙන ඇති ප්‍රේම සම්බන්ධතාවයෙන් ඇය කරදරයේ වැටි මෙසේ වස පානය කරන්න ඇතැයි සිතනවා.

මියගිය අයගේ මව පී.ඒ. ආරියවතී නැමැති අයද සාක්කි දුන්නාය. මේ පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍යවාර්තාව ඉදිරිපත්කළ මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.බී. සෙනවිරත්න මහතා ඉදිරිපත්කළ වෛද්‍ය වාර්තාවද අදාළ සාක්කිද සැලකිල්ලට ගනිමින් සිත්තැවුලට පත්ව කෘමිනාශක වස පානයකර සිදුකරගෙන ඇති සියදිවි හානිකර ගැනීමක් බව ද මරණ පරීක්ෂක වරයා තීරණය කළේය.

මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ කටයුතු කැකිරාව පොලීසියේ පොලිස් කොස්තාපල් සුරසේන මහතා පැවැත්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා