ලෝක කුසලාන තරග පාවා දුන් කෙන්යා ක්‍රීඩකයකු ගැන පරීක්ෂණ

ලෝක කුසලාන තරග පාවා දුන් කෙන්යා ක්‍රීඩකයකු ගැන පරීක්ෂණ

පාකිස්තානයට එරෙහිව කෙන්යාව ලැබූ දැවැන්ත පරාජය ඇතුළු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරග 2ක් පාවාදීම සම්බන්ධයෙන් කෙන්යානු ක්‍රීඩකයෙක් පරීක්ෂණයට ලක්ව සිටින බව ජගත් ක්‍රිකට් කවුන්සලය හා කෙන්යානු නිලධාරීහු ප්‍රකාශ කර සිටිති.

හම්බන්තොට පැවැති තරගයේදී කෙන්යාව ලකුණු 112කට දවාලමින් පාකිස්තානය ලකුණු 205ක ජයක් වාර්තා කළ තරගයේ නියමයෙන් වෙනස් වූ සිද්ධීන්වල මේ ක්‍රීඩකයාගේ සම්බන්ධය පිළිබඳව දැන ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලයට වුවමනා වී ඇතැයි ක්‍රිකට් කෙන්යා ආයතනයේ ප්‍රධාන විධායක ටොම් සියර්ස් පැවැසීය. ක්‍රීඩකයාගේ නම තවමත් හෙළි කර නැත.

එම තරගයේ පාකිස්තාන ඉනිමේදී කෙන්යානු පන්දු යවන්නන් ලෝක වාර්තාවක් සම කරමින් ‘වයිඩ්’ පන්දු 37ක් යැවූහ. “ක්‍රීඩකයාගේ පරීක්ෂණය පිළිබඳව කවුන්සලය පසුගිය වසර අගදී ක්‍රිකට් කෙන්යා ආයතනයට දැනුම් දුන්නා. කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවට ඔහුව ඇතුළත් නොකරන ලෙසට ඔවුන් අපට කීවා” යැයි සියර්ස් ප්‍රකාශ කළේය.

“පවත්වාගෙන යන පරීක්ෂණ ගැන අදහස් පළ නොකරණ ලෙසට ක්‍රිකට් කෙන්යා ආයතනයට උපදෙස් ලැබී තියෙනවා. නමුත් කවුන්සලයට අවශ්‍ය ඕනෑම සහායක් අපි කැමැත්තෙන් ලබා දෙනවා. වැරදි කළ ඕනෑම කෙනෙකුට දඬුවම් කරනවා” යැයි සියර්ස් වැඩි දුරටත් කියා සිටියේය.

2011 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාව ඔවුන් සහභාගී වූ තරග හයෙන්ම පරාජයට පත්විය. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තරග බිමෙන් විශ්‍රාම ගත් අතර කණ්ඩායමේ නොයෙකුත් වෙනස්කම් සිදු කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා