බෙන් ජොන්සන් බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයන්ට දෙහි කපයි

බෙන් ජොන්සන් බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයන්ට දෙහි කපයි

තහනම් ශරීර උත්තේජන භාවිත පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන් 2003 වසරේදී තරග තහනමකට ලක්වූ බ්‍රිතාන්‍යයේ ඩ්වේන් චේම්බර්ස්ගේ විවේචකයන්ට බැණ වැදුනු කැනඩාවේ බෙන් ජොන්සන්, කෙටි දුර ධාවක චේම්බර්ස් ට ලන්ඩන් ඔලිම්පික් උලෙළේ ඔහුගේ ස්ථානය ඔහුට හිමිවිය යුතු යැයි කියයි.

ස්ටෙරොයිඩ්ස් නමැති තහනම් ශරීර උත්තේජකය භාවිතා කිරීම හේතුවෙන් 1988 සෝල් ඔලිම්පික් උලෙළේ දිනා ගත් තම මීටර 100 රන් පදක්කම අහිමි කර ගත් ජොන්සන්, තීිරණයකට එළැඹීමට පෙර අනෙක් මලල ක්‍රීඩකයන් ඔවුනොවුන් ගැන සොයා බැලිය යුතු බව කියා සිටියේය.

“පුද්ගලයන් ඔවුන්ගේ ඇඟිලි අනුන්ට දික්කළ යුතු නැහැ. තමන් පරීක්ෂණයෙන් සමත් වේවිද කියා ඔවුන් කල්පනා කළ යුතුයි. මට ඇඟිල්ල දික් කළ බොහෝ පුද්ගලයන් පසු කාලයේදී තහනම් ශරීර උත්තේජන ලබා ගත් බවට ඔප්පු වුණා” ජොන්සන් පවසයි.

“චේම්බර්ස්ට දෙවැනි අවස්ථාවක් අයිතියි” හිටපු මලල ක්‍රීඩකයා කියා සිටියේය. “නරක දේවල් කළ බොහෝ අය ලෝකයේ සිටිනවා. නමුත් අපි දන්නේ නැහැ.” තහනම් ශරීර උත්තේජන භාවිතා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා තිබූ ජීවිතාන්ත තරග තහනම බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය විසින් ඉවත් කිරීමෙන් පසුව පසුගිය සතියේදී චේම්බර්ස් ට ලන්ඩන් ඔලිම්පික් උලෙළේ දොරටු විවර විණි.

ලන්ඩන් ඔලිම්පික් උලෙළෙ තමා නරඹන්නේ නැතැයි පවසන ජොන්සන්, චේම්බර්ස්ට තරග කිරීමට අවස්ථාව නොදිය යුතු බව කී බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයන්ට දොස් පැවරීය. ජැමෙයිකානු ක්‍රීඩක අසාෆා පවල් ද ලන්ඩනයේ උපත ලත් චේම්බර්ස් ට සහාය පළ කරමින් කතා කළේය. “ඔහුට මේ අවස්ථාව ඇත්තටම අයිතියි. ඔහු ඉතා හොඳ පුද්ගලයෙකි” පවල් කීවේය. “ඔලිම්පික් උලෙළ තියෙන්නේ ලන්ඩනයේයි. අවසාන තරගයේ තමන්ගේ කෙනෙකු සිටිනු දැකීම ඔවුනට අවශ්‍යයි. ඒ කෙනා චේම්බර්ස් වනු ඇතැයි මා සිතනවා.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා