අජන්ත-මහරූෆ් වෙනුවට ජීවන්-දිල්හාර එක්වෙති

අජන්ත-මහරූෆ් වෙනුවට ජීවන්-දිල්හාර එක්වෙති

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිත නම් කරයි

ලබන මස 1 දා ආරම්භවන සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා පිල අතර ක්‍රිකට් තරගාවලියෙන් දඟපන්දු යවන අජන්ත මෙන්ඩිස් හා තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරූෆ් ඉවත්කොට ඇත.

පාකිස්තානයට එරෙහි විස්සයි - 20 හා එක්දින ක්‍රිකට් සංචිත නම් කොට ඇති අතර එම කණ්ඩායම් දෙකේම නායකත්වය නැවැත වරක් මහේල ජයවර්ධනට පවරා ඇත.

ශ්‍රී ලංකා විස්සයි - 20 සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් හා වේගපන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු කැඳවා ඇත. සංචිත දෙකේම කඩුලු රකින්නා ලෙස හිටපු නායක කුමාර් සංගක්කාර නම් කොට ඇත.

පසුගිය වසරේ දකුණු අපි‍්‍රකාවේ සංචාරයට එක් වූ නුවන් ප්‍රදීප්ට ද මෙවර අවස්ථව හිමිව තිබීම විශේෂත්වයකි. බංග්ලාදේශයේදී නිමාවූ ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවූ රංගන හේරත් එක්දින සංචිතයට කැඳවා තිබේ.

ශශ්‍රී ලංකා පිලට එක් වූ ජීවන් මෙන්ඩිස් තරග 19කදී කඩුලු 14ක් බිඳහෙලා සිටින අතර දිල්හාර ප්‍රනාන්දු එක්දින තරග 147 කදී කඩුලු 187 ක් බිඳහෙලා ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් සංචිතයට එක්ව ඇති වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන 2009 එංගලන්තයේ පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී. ඔහු විස්සයි - 20 තරග 5කදී කඩුලු 5ක් බිඳහෙලා ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි - 20 තරග 2ක් එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 3ක් පැවැත්වේ. විස්සයි - 20 තරග දෙක ජුනි 1 දා හා 3 දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ජුනි 7 දා පළමු හා දෙවැනි එක්දින තරග ජුනි 7 හා 9 දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අනෙක් එක්දින තරග තුන ජුනි 13,16 හා 18 දිනවල ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ටෙස්ට් තරග තුන ගාල්ල,කොළඹ හා පල්ලෙකැලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා