බෝගම්බර පිටිය උණුසුම් කරමින් කාල්ටන් සුපර් සෙවන්ස් රගර් අද ඇරැඹේ

බෝගම්බර පිටිය උණුසුම් කරමින් කාල්ටන් සුපර් සෙවන්ස් රගර් අද ඇරැඹේ

ශ්‍රී ලාංකීය රගර් තරගබිමට නැවුම් අත්දැකීම් සමුදායක් එකතු කළ කාල්ටන් සුපර් ‍සෙවන්ස් රගර් තරගාවලිය අද (26) මහනුවර බෝගම්බර පිටියේ දී ආරම්භ වේ. තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රගර් සංගමය එක්ව මෙහෙයවනු ලබන මේ තරගාවලියේ පළමු අදියර ලෙස අද සහ හෙට බෝගම්බර දී ත්, දෙවැනි අදියර ලබන ජූනි මස 2 සහ 3 කොළඹ දීත් තරග පැවැත්වේ.

පලාත් නවය නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහ යාපනය නගරය නියෝජනය කරමින් කණ්ඩායමක් ද සහභාගි වන මේ තරගාවලියට අන්තර් ජාතික සත් සාමාජික රගර් පිටියේ විශිෂ්‍ටතම ක්‍රීඩකයන් රැසක් තරග වදින බැවින් තරගාවලිය නැරැඹීමට අතිවිශාල ක්‍රීඩා ‍ලෝලීන් පිරිසක් එක්‍‍රොක් වනු නිසැකය.

පළමු දිනය වන අද තරග 20 ක් පැවැත්වීමට නියමිතය. 'ඒ' කාණ්ඩය යටතේ සෙන්ට්‍රල් කිංග්ස්, සදර්න් ෂාක්ස්, නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්, ඌව වයිපර්ස් සහ නෝදර්න් ගැලැඩියේටර්ස් ද, 'බී' කාණ්ඩය යටතේ ජැෆ්නා චැලෙන්ජර්ස්, වෙස්ටර්න් වොරියර්ස්, ඊස්ටර්න් ඊගල්ස්, සබරගමුව ස්ටැලියොන්ස්, , නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් යන කණ්ඩායම් ද තරග වදිති.

සිවුවැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියේ දී ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනකාන්ත නළු නිලියන් වන විවේක් ඔබරෝයි, ප්‍රීති සින්ටා බෝගම්බර පිටියේ පැවැත්වෙන පළමු අදියර සඳහා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය. ඔවූහූ තරගාවලිය පුරා ක්‍රීඩකයන් දිරිමත් කරමින් ප්‍රේක්ෂකයන් හා එක්ව ප්‍රීති ඝෝෂා පවත්වනු ඇත.

කොළඹ පැවැත්වෙන දෙවැනි අදියරේ අවසන් තරගයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර නවීනතම තාක්ෂණය ක්‍රමවේදය භාවිතයෙන් පැවැත්වෙන දැවැන්තම සජීවි සංගීත ප්‍රසංගයේ දී බොලිවුඩ් සිනමාවේ ආකර්ශනීය නිලියන් දෙදෙනෙකු වන බිපාෂා බාසු සහ සමීරා රෙඩ්ඩිගේ හා ජනප්‍රිය නළු සොහේල් ඛාන්ගේ මනරම් නර්තනය සජීවිව දැක බලා ගැනීමට ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයන්ට අවස්ථාව උදාවනු ඇත.

කාල්ටන් සුපර් සෙවන්ස් තේමා ගීතය නිර්මාණය කරමින් උත්තර භාරතයේ විශිෂ්ටතම සංගීතඥයෙකු වන ශංකර් මහාදේවන් පළමු වරට සිංහල භාෂාවෙන් ගී ගැයීමට එක්වන අතර 20 දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ සංගීත කණ්ඩායම මේ ප්‍රසංගය සංගීතවත් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා