සැකකරු මානසික රෝගයකින් පෙළෙන බවට සැක

වීරහෙළ ප්‍රදේශයේ මවක හා දියණිය ඝාතන සිද්ධිය

සැකකරු මානසික රෝගයකින් පෙළෙන බවට සැක

තිස්සමහාරාම වීරහෙළ ප්‍රදේශයේ නිවසකදී පෙරේදා (07) දහවල් මවක හා හය හැවිරිදි දියණිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම මේ වන විට පුද්ගලයන් හය දෙනකුගෙන් ප්‍රශ්න කර සාක්ෂි ලබා‍ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරණවූ ස්ථානයේදී තිස්සමහාරාම ම‍හෙස්ත්‍රාත්වරයා විසින් එදිනම මහෙස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා ඩී.එන්.ඒ.වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

රස පරීක්ෂක වාර්තාවක් හා ඇඟිලි සළකුණු වාර්තාවක් ද කැඳවීමට පොලිසිය කටයුතු කර තිබේ. මියගිය කාන්තාවගේ සැමියා මේ ඝාතන සිදුකර තමන්ද පිහියෙන් ඇණ‍ගෙන ඇතිබව මූලික පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇති බව පොලිසිය පවසයි.

සැකකාර සැමියාට දේවාරූඩයක් ඇතිබව අසල්වාසීන් හෙළිකර තිබේ. මේ අනුව ඔහු යම්කිසි මානසික රෝගයකින් පසුවූ බවටත් සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් ලේ තැවරුණු පිහිය ඝාතන වලට යොදාගත් ආයුධය බවටත්පොලිසිය විශ්වාස කරයි. මේ අනුව ඒ සම්බන්ධ ඇඟිළි සළකුණු වාර්තාවක් කැඳවීමටද නියමිතය.

සිය බිරිය හා දියණිය කපා කොටා මරාදමා තමන්ම බරපතළ තුවාල සිදුකරගත් බවට සැකකෙරෙන පියා මේවනවිට හම්බන්තොට රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි. ඊයේ (08) අලුයමද හදිසි සැත්කමකට භාජනය කර ඇති සැකකරු බරපතළ තත්වයෙන් පසු වූ බැවින් ඊයේ දහවල් වන විට ද සිද්ධිය පිළිබඳ ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකිවූ බව පොලිසිය කීය.

ඔහු තම පවුලට ග්‍රහ අපල ඇතැයි පවසමින් ඊට පෙර දින නිවසින් පිටව ගොස් යම් පූජාවක් කර ඇති බවටද කරුණු අණාවරණය වී ඇත. සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වීරහෙළ කුඩා ගම්මාන හත ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක වූ තිස් දෙහැවිරිදි ලාලනී පුෂ්පකුමාරි නමැත්තිය හා ඇගේ දියණිය වූ හය හැවිරිදි ෂෙහාරා නෙත්මිණි දැරියයි.

මිය ගිය දැරිය වීරහේන කනිටු විදුහලේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. යම් හේතුවක් මත ඈ එදින පාසල් ගොස් නැත. මිය ගිය තැනැත්තියගේ වැඩිමහල් දරුවා වූ දුලර සම්පත් (11) ද එම පාසලේම හය වසරේ ඉගෙනුම ලබන අතර ඔහු එදින පාසල් ගොස් අවසන්ව නිවසට පැමිණ ‍නිවසේ දොර වසා තිබීම නිසා සොයා බැලීමේදී ලේ විලක් මත වැටී සිටි තම, මව, පියා හා නැඟෙණිය දැක කෑගසා ඇත.

දරුවාගේ හඬගෑම ‍නොවන්නට අසල්වාසීන් කිසිවකු මේ ඝාතන පිළිබඳ කිසිවක් දැන සිට නැති බව හෙළිවී ඇත. පසුව අසල්වාසීන් සිද්ධිය පොලිසියට දන්වා තුවාලවූවන් රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ. සිද්ධිය පිළිබඳ තිස්සමහාරාම පොලිසිය හා තංගල්ල අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා