නාගරික ගම්බද බේදයෙන් තොර අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා

නාගරික ගම්බද බේදයෙන් තොර අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා

- බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විධුර වික්‍රමනායක

පාසල්වල ඇති බෙදීම නිසා මවුපියන්ද බෙදී ඇති බවත් මේ බෙදීම් හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඬාලවන හෙයින් බෙදීම්වලින් තොර අධ්‍යාපන ක්‍රමයක් ඇතිවියයුතු බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විධුර වික්‍රමනායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ යාල සිරිසුමන කනිෂ්ඨ විද්‍යාලයට අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හා විධුර වික්‍රමනායක මහතා විසින් වේදිකාවක් හා විද්‍යාලයේ සංවර්ධනය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ තුනහමාරක සම්පත් සිසු අයිතියට පැවරීම නිමිත්තෙන් පසුගියදා එම විද්‍යාලයේ පැවැති රැස්වීමේදීය.

විධුර වික්‍රමනායක මහතා මෙසේ ද කීය. සෑම මවුපියකුම උත්සාහ ගන්නේ දරුවන් නගරයේ පාසලකට ඇතුළුකිරීමටයි. මේ නිසා ගම්බද පාසල් වැසී යන අතර නගරබද පාසල්වල පන්ති කාමර දරුවන්ගෙන් පිරී ඉතිරී යනවා.

මේ ක්‍රමය වැලැක්වීමට ගම්බද ප්‍රදේශවල සිටින දරුවන් 1 සිට 5 ශ්‍රේණිය දක්වා ගමේ පාසලේ ඉගැනීමට සලස්වනවා. ලබන වසරේ සිට නගර බද පාසල්වලට 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත්කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවන් ඉංග්‍රීසි පාසල්වලට ඇතුළත් කිරීමේ රටාවට දැන් මවුපියන් පුරුදු වෙලා. ඉංග්‍රීසි පාසල්වල ප්‍රාථමික අංශවල සිසුන්ගේ දැනුම ගැන විමසනවිට ඒ දරුවන්ට ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම බෑ. මේ තත්ත්වය ඉතා අහිතකර බව මවුපියන් වටහාගත යුතුයි.

පාසලෙන් දැනුම ඇති සිසුන් පමණක් නොව හොඳ ආකල්ප සහිත රටට ජාතියට ආදරය කරන උගත් පිරිසක් බිහි කිරීමත් අත්‍යාවශ්‍යයි.

බුලත්සිංහල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඒ. කීර්තිසේන මහතා - ගම්බද පාසල්වල සංවර්ධන කටයුතු දියුණුව සඳහා මේ රජය තරම් විශාල මුදලක් ලබාදී ඇති රජයක් මින් පෙර තිබුනේ නෑ. ඒ සංවර්ධන මුදලට සරිලන ප්‍රයෝජනයක් පාසලට ලබාදීම ගුරුවරුන්ගේ වගකීමයි.

මේ අවස්ථාවට සහභාගී වූ විදුහල්පති ඒ. ලයනල් මහතා ද කතා කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා