නගරයේ පාසල්වලට පමණක් සීමා වූ සම්පත් දැන් ගමේ පාසලටත් ලැබිලා

නගරයේ පාසල්වලට පමණක් සීමා වූ සම්පත් දැන් ගමේ පාසලටත් ලැබිලා

- ඇමැති ලසන්ත අලගියවන්න

අධ්‍යාපන පහසුකම් ලැබෙන්නේ කොළඹ නගරයේ පාසල් වලට පමණක් බවට මතයක් ඇති වී එය රටේ ප්‍රශ්නයක් බවට එදා පත්ව තිබූ බවත් එම මතය වෙනස් කිරීමේ කාර්යභාරය ‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළ යටතේ මේ වන විට ඉටු කර ඇති බවත් ඒ අනුව මෙතෙක් කලක් නගරයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන පහසුකම් දැන් ගම්බද පාසල් වලටත් ලැබී තිබෙන බවත් මහර ශ්‍රී. ල. නි. පක්ෂ ප්‍රධාන සංවිධායක මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැය කොට මහර / නීලමහර ප්‍රාථමික විද්‍යාලයේ අලුතින් ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයේදීය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ මහතාගේ (එ. ජ. නි. ස.) ප්‍රතිපාදන යටතේ්මේ විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමද මෙදින සිදු කැරිණි.

ඇමැතිවරයා එහිදී මෙසේද කීවේය.

මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ආරාධනයෙන් පළාත් සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ මහතා විසින් නීලමහර ප්‍රාථමික විද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් අවස්ථාව. මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ඒ. බී. කරුණාරත්න හා විදුහල්පති කේ. ඒ. නිහාල් ජයරත්න යන මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය – මල්වාන සමූහ මහානාම විතානගේ

වත්මන් ජනාධිපතිතුමා බලයට පත් වී ගත වූ සිවු වසරේ තම කාර්ය භාරයේ වගකීම හා යුතුකම ඉටු කර තිබෙනවා. ඒ අනුව අද රටක් හැටියට අප ජයග්‍රහණය ලබා ගෙන තිබෙනවා. පසුගිය වසරේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණු ලබා ගත්තේ හම්බන්තොට පළාතේ දරුවෙක්.

දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු හිමි කර ගත්තේ යාපනයේ දරුවෙක්. ඒ ජයග්‍රහණ ළඟා කර ගැනීමට හැකි වුණේ නගරයේ තිබූ අධ්‍යාපන පහසුකම් ගමට ලබාදී තිබූ නිසායි.

අද ගුරුවරුන් සිසු දරුවන්ට දැනුම ලබා දීම සඳහා විශාල කැපවීමක් සිදු කරනවා. එය අපට වඩා හොඳින් ජනපතිතුමා දන්නවා. ඒ නිසා අපට හැම වෙලාවකම එතුමා උපදෙස් ලබා දෙන්නේ දූ දරුවන් වෙනුවන් අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලකයන් හැටියට වැඩි කාලයක් මිඩංගු කරන්න කියලයි.

මේ වන විට සමස්ත පාසල් පද්ධතියේම කැපී පෙනෙන ප්‍රගතියක් දකින්නට ලැබෙන්නේ ඒ නිසයි. මේ ප්‍රගතිය අපි තවත් ඉදිරියට රැගෙන යා යුතුයි.

මේ පාසල වසර 71 ක් පැරැණියි. කලක් මේ පාසල විශාල දියුණුවක් ලබා තිබුණා. පසුව ඒ දියුණුව ආපස්සට ගියා. මා මහර ආසනය භාර ගෙන මේ පාසලට එන විට එහි ළමයින් සිටියේ තිස් ගණනයි. එහෙත් අපි මේ පාසල අමතක කළේ නැහැ. ලබා දිය හැකි සෑම පහසුකමක් ලබා දුන්නා.

ඒ නිසා අද මේ පාසලේ ප්‍රගතියක් දකින්නට ලැබෙනවා. දැන් ළමයින් 126 දෙනෙක් සිටිනවා. මේ පාසල මේ තත්ත්වයට ගෙන ඒමට හිටපු විදුහල්පතිවරුන් හා වත්මන් විදුහල්පතිතුමා දැඩි කැපවීමක් කළා. එය අපි ඉතාමත්ම අගය කරනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ මහතා (එ. ජ. නි. ස.) - ඉදිරියේදී රාජ්‍ය අංශයේ රැකියා ප්‍රමාණය අඩු වෙනවා. එහෙත් අලුතින් රැකියා මාර්ග උත්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක්ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පාසල් වලින් ලබා දීමට අපි කටයුතු කරනවා.

විදුහල්පති කේ. ඒ. නිහාල් ජයරත්න මහතාද නීලමහර ශ්‍රී ලංකාරාමාධිපති අතුරුගිරියේ විමලරතන හිමියෝ ද ගෝනහේන එස්. කේ. කේ. සුරීආරච්චි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සුමිත් අරුණ ශාන්ත මහතා ද නීලමහර ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඊ. විමලාවතී මහත්මිය ද කතා කළහ.

මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ඒ. බී. කරුණාරත්න, මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සහන් ප්‍රදීප් විතාන (එ. ජ. නි. ස.) මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා