ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩවලින්

ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩවලින්
අධිකරණය අපහසුවට පත්වනවා

- පාණදුර පළාත්බද මහ අධිකරණ විනිසුරු

පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණ නියෝග පැහැර හරිමින් අපරික්ෂාකාරීලෙස රාජකාරි කටයුතු කිරීම නිසා අධිකරණය ඉතා අපහසුතාවයට පත්වන බවත් මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානාධිපති වරුන් අධිකරණය හමුවට කැඳවා අවවාද කර මුදා හැර ඇතත් පලක් නැති බැවින් මින්මතුවට අධිකරණ නියෝග පැහැර හරින පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව අපරාධ නීති සංග්‍රහය ක්‍රියාත්මක කර නඩු පවරන බව පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පැවැසුවාය.

විනිසුරුවරිය එසේ පැවැසුවේ මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමල් එදිරිමාන්න මහතා අමතමින් විවෘත අධිකරණයේදී ය.

මාලනී ගුණරත්න මහත්මිය මෙසේද කීවාය.

කොළඹ තිබෙන විශාලතම පොලිසිය වූ මරදාන පොලිස්ථානයේ වැඩකටයුතු අකාර්යක්ෂම අන්දමින් කෙරෙනවා නම් සෙසු පොලිස්ථානවල රාජකාරි කටයුතු ගැන කීම අවශ්‍ය නෑ.

පොලිස්ථානාධිපති වරු නිකුත් කරන උපදෙස් පහළ ශ්‍රේණියේ සමහර පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙයින් පෙනෙන්නේ පොලිසියේ විනය පහතවැටී තිබෙන බවයි.

මරදාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමල් එදිරිමාන්න අධිකරණය හමුවේ පෙනී සිටියේ නොතිසියක් මතය.

අධිකරණය හමුවේ විභාගයට ගත් මිනීමැරුම් නඩුවක සාක්කිකරුවන් තිදෙනකුට අධිකරනයෙන් නිකුත් කළ සිතාසි පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකිරීම ගැන විනිසුරුවරිය ඔහුගෙන් කරුණු විමසූ විට එම සිතාසි අදාළ සාක්කිකරුවන්ට භාරදීමට හිටපු පොලිස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයකුට භාරදී ඇති බව පැවැසීය.

මරණයට පත්වූ කාන්තාව පිළිබඳව ජාතික රෝහලේ පොලිසිය මරදාන පොලිසියට බාරදී ඇති ලේඛනයක් පිළිබඳ තොරතුරු නොමැති බවත් එම ලේඛනයද රෝහලේ දී විනාශ කර ඇති බවට අධිකරණ හමුවේ එලිදරව් වී ඇති හෙයින් ඒ පිළිබඳව විමසූ විට එම ලේඛනයේ පිටපතක් මරදාන පොලිසියේ ලේඛනාගාරයේ තිබෙන බවට සැකකළ හැකි බව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

එම ලේඛනය ඉදිරිපත් කරන තුරු නඩු විභාගය පසුවට කල් දමන්න යැයි විනිසුරුවරිය ගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටියේය.

මේ නඩුවේ විත්තිකරු වූයේ මහදුරගේ නිලන්ත නැමැත්තාය. ඔහු අධිචෝදනා ලබා සිටියේ වර්ෂ 2002 මාර්තු මස 18 වැනිදා දුක්ගන්නාරාලගේ රත්න මැණිකේ නැමැති කාන්තාවගේ මරණය ඉංගිරියේ දී සිදු කිරීම සම්බන්ධයෙනි.

මරදාන පොලිස් ස්ථානාධිපති වරයාගේ සාක්කිය අත්හිටවූ විනිසුරු වරිය නඩුව පසුවට කල් දැම්මාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා