වත්මන් රජය යටතේ අධ්‍යාපනය සැබෑ ක්‍රමවේදයක්

වත්මන් රජය යටතේ අධ්‍යාපනය සැබෑ ක්‍රමවේදයක්
වෙත පිවිසෙමින් තිබෙනවා

- පළාත් සභා මන්ත්‍රී විදුර වික්‍රමනායක

පළමුවන ශ්‍රේණියේ පටන් අපේ දරුවන් උපකාරක පන්ති වලට යවන බවත් සියලු දෙනාම මහන්සි වෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම පැන ගන්න බවත් මෙයින් ළමයින් කට්ටියකට පාසල් නැති වෙන බවත් එවිට අම්මලාට තාත්තලාට සිදු වන්නේ දේශපාලනඥයන් ළඟට යන්නට බවත් හොරණ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ කුළුපන දී පැවැසීය.

හොරණ තක්ෂිලා කනිටු විදුහල ප්‍රාථමික අංශයේ කුළුපන පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු පැවැති ගුරු සිසු හමුවකදී විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවැසීය. ඒ මහතා මෙසේද පැවැසීය.

හොරණ තක්‍ෂිලා ප්‍රාථමික විදුහලට අනුබද්ධව මෙයින් වසර පහකට පෙර ගොඩ නැගුණු මේ පාසල අද දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා. පත පොතට පමණක් සීමා නොවී හැම අතින්ම දියුණුවක් ලබා තිබීම අපි ඉතා ඉහළින් අගයනවා.

පසුගිය අවුරුදු පහ මෙම පාසලට එන්නට වරම් ලැබුණේ නෑ. දේශපාලන හේතූන් මත දූලා පුතාලගේ අනාගතය ගොඩ නගන්නට අවශ්‍ය කාර්යයන් කරන අවස්ථාවක් දැන් උදාවී තිබෙනවා. මෙහිදී පරිගණක ලබා දීම අත්‍යවශ්‍යයි.

හොරණ තක්‍ෂිලා කනිටු විදුහල ප්‍රාථමික අංශයේ කුළුපන පරිගණක මධ්‍යස්ථානය හොරණ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විදුහලේ සිසු දරුවන් සමග පීත්ත පටිය කපා විවෘත කළ අයුරු. මේ අවස්ථාවට විදුහල්පති ඩබ්ලිව්. එස්. එස්. ෆොන්සේකා මහතා ද සහභාගි විය. ඡායාරූපය ඉංගිරිය සමූහ – කුමාරි ගමගේ

දියුණුව කියන්නේ ඉලක්කම් නොවෙයි. අද විභාග සමත්වීම බලන්නේ ඉලක්කම් වලින්. ප්‍රතිශතයෙන්. ගම් වල දියුණුව බලන්නේ මාර්ග පද්ධතියෙන්. මාර්ගයට යොදා තිබෙන්නේ් තාර ද කොන්ක්‍රීට්ද කියා පරීක්ෂා කරනවා. යහපත් පුරවැසියකු වීම සඳහා පත පොතේ දැනුම අවශ්‍යයි.

ඒ දැනුම විතරක් මදි. විදේශීය පොත් පත් වල තිබෙන දේ සිංහලට දෙමළට පරිවර්තනය කළ පමණින් හොඳ පුරවැසියෙක් බිහි කරන්න බෑ. ඒ ක්‍රමවේදයෙන් අප රට ගැන ආදර ගෞරවයක් ලබා දෙන්නට බෑ.

අද අපි ළඟ ආදරය මෛත්‍රීය නෑ. ආත්මාර්ථකාමයෙන් පිරිල. මම මගේ කීවත් අපි අපේ කියල හිතන්නෙ නෑ. එදා අපි බාලාංශ පන්තියට කියවපු ‘කුමාරෝදය’ පොත කොතරම් හොඳද ?

දරුවන් ජීවිතයෙන්1 / 4 ක් ගත කරන්නේ් ගුªරුවරුන් එක්ක. දරුවන් සඳහා ගුරුවරුන් කොතරම් කාල සීමාවක් ගත කරනවාද? අද අපේ හැම දෙයක්ම රුපියල් ශත වලට සීමා වෙලා. අපි අධ්‍යාපනයෙන් ලබන ප්‍රතිලාභය කොතරම්ද ? රටක් විසින් අධ්‍යාපනය අංක එකට ගත යුතුයි.

මහින්ද රාජපක්ෂ රජයෙන් අධ්‍යාපනය සැබෑ ක්‍රමවේදයක් වෙත පිවිසෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵල දක්නට ලැබෙනවා. බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අධ්‍යාපනය උදෙසා නව සංකල්ප ගොඩනගා තිබෙනවා. අලුතෙන් හිතෙනවා නම් අපට පුළුවන් අධ්‍යාපන ක්‍රමය ඉහළ මට්ටමකට ගෙන එන්න.

සුබ අනාගතයක් අලුත් හෙටක් ගොඩ නැගෙමින් පවතිනවා. විවිධ මට්ටමේ පාසල් අද තිබෙනවා.

අපි ඉගෙන ගන්නා කාලේ විවිධ මට්ටම් තිබුණේ නෑ. ශ්‍රී ලංකාවේ කිසිදු පාඨශාලාවකට නොදෙවෙනි වන ආකාරයට මේ විදුහල සංවර්ධනය කරන්නට අපි භාර ගන්නවා.

හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පද්මා මාලිනී ජයතිලක මහත්මිය - කුළුපන විදුහල ආඩම්බරයෙන් කතා කළ හැකි විදුහලක්. මුලදී හොරණ අධ්‍යාපන කලාපයේ වැහෙන්නට තිබුණු පාසලක්. අද දරුවන් 700 ක් ඉන්න පාසලක්. ආඩම්බරකාරී තත්ත්වයකින් කතා කළ හැකියි. ඒකාබද්ධ වැඩසටහන යටතේ මේ විදුහලේ පුනර්ජීවනය සිදු වෙනවා.

මේ විදුහලේ දරුවනගේ මවුපියන් ඉතා උනන්දුයි. මේ පාසලට ප්‍රධාන ශාලාවක් අවශ්‍යයි. සිසුවා ප්‍රාථමික අධ්‍යාපනයේදී පත පොතට පමණක් සීමා කරන්න එපා. විභාග සමත්වීම පමණක් නොවෙයි අධ්‍යාපනය කියන්නේ. සර්ව සම්පූර්ණ දරුවකු ගොඩ නැගීමයි.

කුළුපන තක්ෂිලා ප්‍රාථමික අංශයේ විදුහල්පති ඩබ්ලිව්. එස්. එස්. පොන්සේකා මහතාද චමෝදා කේෂාණි ශිෂ්‍යාවද කතා කළහ.

තක්ෂිලා ප්‍රාථමික විදුහලේ ආචාර්ය මණ්ඩලයේ දඹර සෝභිත හිමියෝ පිරිස පංච ශීලයෙහි පිහිටුවූහ. සාම විනිසුරු රයිගම් කෝරළේ හදිසි මරණ පරීක්ෂක ජී. ඩී. එල්. ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය. පරිගණක ලබා දුන් මැලිබන් බිස්කට් සමාගමේ දිමුත් ලියනගම හොරණ ගුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරංග සමරවික්‍රම මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා