ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා දිනුවානම් රට ලේ විලක් වෙලා

ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා දිනුවානම් රට ලේ විලක් වෙලා

- ඇමැති රෝහිත අබේගුණවර්ධන

ජනාධිපතිවරණයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්වූවා නම් මේ රට ලේ විලක් බවට පත් වීමට ඉඩ තිබුණා යැයි ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා එසේ කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් කළුතර නගරයේ ජනතාවට ස්තූති කිරීම සඳහා කළුතර නගරයේ පැවැති ජන හමුවකදීය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීය. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු සිංහල ද්‍රවිඩ මුස්ලිම් මැලේ හා බර්ගර් යන සියලුම ජාතීන්ට එක ජාතියක් වශයෙන් නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණා.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොටි නියෝජිත සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් දහය ක්‍රියාත්මක කිරීමට භාර ගැනීමෙන් පසුව වැලලී තිබුණු කොටි ත්‍රස්තවාදය නැවත ඉස්මතු වූවා.

එකට එක් කරන්නට නොහැකි දේශපාලන ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කරන එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මංගල සමරවීරත්, රවුෆ් හකීම්, මනෝ ගණේෂන්ලා එක්වී විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළේ මේ රටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව ජනතාව තේරුම් ගත්තා.

දූෂිත මිනීමරුවකුගෙන් රට බේරා ජනාධිපතිට ඡන්දය දුන් මේ රටේ සියලු ජනතාවට ජාති පක්ෂ ආගම් භේදයකින් තොරව ප්‍රශංසාව පළ කළ යුතුයි.

කළුතර නගර සභාවේ විපක්ෂනායක පාලිත සිල්වා, නාගරික මන්ත්‍රීවරුන් වන ප්‍රේමතිලක් ෆොන්සේකා, බී. ඩී. ජෝසප්, අමීර් හසින් මහත්වරුද සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා