එජාප - ජවිපෙට අද ඉතිරිව ඇත්තේ පක්‍ෂ දෙක විසුරුවා රජයට එක්වීම පමණයි

එජාප - ජවිපෙට අද ඉතිරිව ඇත්තේ පක්‍ෂ දෙක විසුරුවා
රජයට එක්වීම පමණයි

- ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන

එක්සත් ජාතික පක්‍ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට ඉතිරිව ඇත්තේ පක්‍ෂ දෙක විසුරුවා හැර රජයට එක්වීම පමණක් යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

සාමයෙන් සපිරි ඒකීය දේශයක් බිහිකිරීම උදෙසා රජය සහ වීරෝදාර හමුදාවන් ගෙන යන වැඩපිළිවෙළ මෙන් ම රජයේ සංවර්ධන කි‍්‍රයාවලිය පිළිබඳ පැහැදීමට ලක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් ආණ්ඩුව වටා එක්වන බැවින් එම පක්‍ෂ අද වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, සිරිසේන මහතා සඳහන් කෙළේය.

කෙසේ වුවද රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත වීමට නම් ප‍්‍රබල විපක්‍ෂයක් සිටිය යුතු වුවත් අප සතුව ප‍්‍රබල විපක්‍ෂයක් නොමැති බවත් හෙතෙම පැවැසීය.

විවිධ අර්බුදවලට ලක්ව ඇති එක්සත් ජාතික පක්‍ෂය හමුදා මෙහෙයුම්වලට පමණක් අවධානය යොමු කර ඇති රජය රටේ කිසිදු සංවර්ධනයක් සිදුනොකරන බවට චෝදනා එල්ල කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පදනම් විරහිත ලෙස රජයට චෝදනා නොකර රජයේ සංවර්ධන ව්‍යාපෘති දැකගැනීමට අවශ්‍ය නම් රජය සමඟ එක්වන ලෙස තමන් එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කරන බවත් ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.

ගම නැඟුම, මග නැඟුම ආදී වශයෙන් වූ සංවර්ධන ව්‍යාපෘති මෙන් ම මහා පරිමාණ විදුලි බලාගාර, ගුවන් පාලම් ආදී සියල්ල රට තුළ ඉදිකෙරෙමින් පවතින අතර ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ආකාරයට එජාපය කටයුතු කරන බවද සිරිසේන මහතා කීය.

එක්සත් ජාතික පක්‍ෂය මෙවැනි ප‍්‍රකාශ සිදුකරමින් අපේක්‍ෂා කරන්නේ වීරෝදාර රණවිරුවන් දැවැන්ත ජයග‍්‍රහණ ලබන මොහොතක රටේ සමස්ත ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට හැරවීමට බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා