රණවිරුවන් අව්ව වැස්ස නොතකා කැප වූ නිසා . .  .

රණවිරුවන් අව්ව වැස්ස නොතකා කැප වූ නිසා
එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ අවසානය ළඟා වෙලා

මධ්‍යම පළාත් ගුරු - සිසු හමුවේදී ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මධ්‍යම පළාතේ ගුරුවර, ගුරුවරියන් සහ බාහිර උපාධි අපේක්ෂක, අපේක්ෂිකාවන් අතර හමුවක් පසුගියදා මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා ගුරුවරියන් පිරිසක් සමඟ සුහද කතාබහක යෙදී සිටි අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දෙන ජයග‍්‍රහණ අනාගත පරපුරට ද උරුම කර දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ දී පසුගියදා (31) පැවැති ගුරු - සිසු හමුවකදී පැවැසීය.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වීරෝදාර රණවිරුවන්ගේ උදාර කැපවීම නිසා වසර 2 යි මාස 5 කින් ත‍්‍රස්තවාදය අවසානය කරා ගෙන ඒමට හැකි වූ බවද ජනපතිතුමා පැවැසිය.

ඇතැම් රාජ්‍ය සේවකයන් මෙන් රණවිරුවන් ද අපට වතුරේ බැහැලා යන්න බැහැ “දවල් 12.00 ට කෑම එක ලබා දිය යුතුයි.” “සීතල වෙච්ච කෑම කන්න බැහැ” ආදී විවිධ ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් පිකටින් කළා නම් මේ ජයග‍්‍රහණ අත්කර ගැනීමට හැකි වන්නේ නැතැයි ද ජනපතිතුමන් කීය.

උගත් තරුණ පරපුර පැත්තකට විසිකර දමා කටයුතු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නොමැති බවද එසේ කළ යුගයන් වල ප‍්‍රතිඵල තමා හොඳින් විඳ ඇති නිසා රටේ අනාගතය වන තරුණ පරපුර කොන් නොකර උගත් තරුණ පරපුරක් බිහිකිරීම සඳහා සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බවද අවධාරණය කළේය.

මහනුවර දිස්ති‍්‍රක්කයේ ගුරුවරුන් හා බාහිර උපාධි අපේක්‍ෂක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 31 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

යහපත් පරිසරයක්

අනාගතයේ දී අප කාටත් ජීවත්වීමට ලැබෙන්නේ යහපත් පරිසරයකයි. එදා තිබ්බ බිය හා සැකය අද තිබෙනවාද? ඒ සියල්ල ක‍්‍රම ක‍්‍රමයෙන් අතුරුදන් වෙමින් පවතිනවා. එදා හැමෝටම තිබ්බේ තිගැස්සීමක් අප රට ගැන හිතලා ගමනක් ගියා. බොහෝ ඉවසීමෙන් කල්යල් බලා හැමදෙයක්ම කළා.

අපි අප වෙනුවෙන් බොහෝ කැපවීම් කළා. සමහරු රටේ ගමන වළක්වන්න නොයෙක් උපක‍්‍රම යෙදුවා. රට මෙතෙක් ගිය ගමන වෙනස් කිරීමටයි ජනතාව මට බලය ලබාදුන්නේ. මට මේ රටේ දරුවන්ගේ තරුණ පරපුරේ අනාගතය ගැන බරපතළ වගකීමක් තිබෙනවා. අද අපේ තරුණ පරපුරට රට ගැන තිබෙන අවබෝධය හේතුවෙන් රටේ අනාගතය ගැන හෝ ඔබේ අනාගතය ගැන බියවීමට කිසිදු හේතුවක් නැහැ.

අද මේ රටේ බාහිර උපාධියක් හැදෑරීමට අ. පො. ස. උසස් පෙළ විෂයන් 3 ක් සමත්විය යුතුයි. චීනයේ දොස්තරවරු සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල උඩයි සමත්වෙන්නේ. අමෙරිකාවේ කලා උපාධිධාරීන්ටත් වෛද්‍ය උපාධිය හැදෑරීය හැකියි.

ඒ නිසා බාහිර උපාධියේ අධ්‍යාපන සුදුසුකම් වෙනස්වීමක් පිළිබඳව කිසිඳු අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ.

අපට අවශ්‍ය නමට උපාධිධාරින් නොවෙයි. රටට වැඩක් ඇති ගුණාත්මක හැකියාවන්ගෙන් යුත් උපාධිධාරි බිහිකිරීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලවලට සුවිශේෂී වගකීමක් පැවරී තිබෙනවා. අපේ උපාධිධාරීන් ලෝකය පිළිගත් උපාධිධාරින් බවට පත් කිරීමට මේ රටේ විශ්වවිද්‍යාල කටයුතු කළ යුතුයි.

තරුණ පරපුර

අපි තරුණයන් වෙනුවෙන් තරුණ කටයුතු වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යංශයක් ඇතිකොට විශේෂ අවධානයකින් කටයුතු කරනවා. අප බලය ලබා ගන්නා තුරු තරුණයන් ගැන කථා කොට පසුව අමතක කළ රජයක් නොවෙයි.

අපි රුපියල් 2500/- ක ඩෝලයක් තරුණයන්ට දෙනවා, බ්‍රේස්ලට් දෙනවා, චුයිංගම් දෙනවා කිව්වෙ නැහැ.

’මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ තොරතුරු තාක්‍ෂණ දියුණුව ගමට ගෙන ගොස් තිබෙනවා. අප බලයට පත් වන විට 5% ක්ව පැවැති මෙරට ජනතාව අතර තොරතුරු තාක්‍ෂණය පිළිබඳ දැනුම අද 28% - 30% අතර ප‍්‍රමාණයකට ඉහළ ගොස් තිබෙනවා. එක් ගුරුවරයකුගේ කැපවීම මත මහවිලච්චිය වැනි අති දුෂ්කර ගම්මානය අද තාක්‍ෂණ දැනුමෙන් පොහොසත් වෙලා. අද ඒ ගමේ උදවිය ගමේ ඉඳලාම කොළඹ ප‍්‍රධාන පෙළේ සමාගම් සමඟ කටයුතු කරනවා.

මේ රටේ ගුරු පරපුරේ කැපවීම අප ඉහළින්ම අගය කරනවා. ඔවුන්ගේ කැපවීමෙන් මුළු පළාතත් රටත් වෙනස් කරන්න පුළුවන්. ඉදිරියේදී ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත් සියලු ප‍්‍රදේශවල අප “නැණසල” මධ්‍යස්ථාන පිහිටුවනවා. රටේ හැම දෙනාටම තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

අපේ ආණ්ඩුව දුන් පොරොන්දු ක‍්‍රමානුකූලව ඉටු කරමින් පවතිනවා. ජයවර්ධනපුර සරසවියේ පමණක් බාහිර උපාධි අපේක්‍ෂකයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 50000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධි සහ බාහිර උපාධි එක හා සමාන මට්ටමකට ගෙන එනවා නම් හොඳයි. ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අවධානය යොමු කළ යුතුයි.

අපි අධ්‍යාපනයට පමණක් නොව කී‍්‍රඩා හා තරුණ කටයුතු සඳහා ද පසුගිය වසර 3 දී විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කළා. පාසල් ශිෂ්‍යයා හෝ සරසවි ශිෂ්‍යයා පොතේ ගුරෙක් පොත් ගුල්ලෙක් වීම නරකයි. ක‍්‍රීඩාව හා සමාජ කටයුතු මෙන්ම බාහිර ලෝකය පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි. අවසානයේ රට වෙනුවෙන් තරුණයා ඉදිරියට පැමිණිය යුතුයි.

ටයර් සෑය

මේ රටේ තරුණයන් ටයර් සෑයන්වල පුච්චන්න අපට අවශ්‍ය නැහැ. සමහර ආණ්ඩු එහෙම කළා. සමහර පක්‍ෂවල පැවැත්මට එවන් දේවල් අවශ්‍යයි. අපේ රජයට අවශ්‍ය මේ රටේ තරුණයා ජීවත්කරලීමයි. ගොඩනැඟීමයි. ඒ සඳහා අප කැපවී සිටිනවා.

අපේ රජය උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදුන්නා. දක්‍ෂ ගුරුවරුන්ට ඉහළට යාමට ඉඩ ප‍්‍රස්ථා ලබා දුන්නා. වසර ගණනාවක් දිග්ගැස්සී තිබූ

රැකියා පෝලිම නැති කළා. එදා උපාධිධාරීන්ට නොතිබූ තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. ගුරුවරුන්ට ප‍්‍රශ්න තිබෙන බව මම දන්නවා. අපි සුහදව කටයුතු කළා. දේශපාලන භේදයෙන් තොරව ගුරු වෘත්තිය හා රාජ්‍ය සේවයත් එකතු කරගනිමින් සමබර ගමනක් අප යා යුතුයි.

මාතෘ භූමියට නිදහසක් නැත්නම් අපට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මරාගෙන මැරෙන කොටියෙකුට බයේ කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මේ රට කොටියන්ට ලියලා දෙන්න මට පුළුවන්කමක් නැහැ.

පසුගිය කාලයේ එහෙම ලියලා දීලා තිබ්බා. ඒ නිසයි අද අපේ තරුණයන්ට ජීවිත පූජා කිරීමට සිදුවී තිබෙන්නේ. අද හමුදාවට බැඳෙන්නේ වයස අවුරුදු 18 – 20 තරුණයන්. මගේ පුතා නාවුක හමුදාවට බැඳෙනකොට වයස අවුරුදු 19 යි. අපට රට වෙනුවෙන් ඔහුගේ ඉල්ලීමට ඉඩ දෙන්න සිද්ධ වුණා.

අපි යමක් ඉල්ලනකොට එම ඉල්ලීම ලබා ගැනීමට පෙර අප රට වෙනුවෙන් කවර කැපවීමක් කර ඇත්දැයි පළමුකොටම සිතිය යුතුයි. එහෙම හිතන්න පුළුවන් ගුරුවරු පිරිසක් වෘත්තීය සමිති හා වැඩකරන ජනතාවක් රටේ සිටීම ගැන හා ඔවුන්ගේ දැනුවත්කම පිළිබඳ මට ඇත්තේ ආඩම්බරයක්.

අපි සංවර්ධන කටයුතු රැකියා ලබාදීම හා වැටුප් වැඩිකිරීම් කොපමණ දුෂ්කරතා පැවැතුණත් අතහැරදැමුවේ නැහැ. ලෙකයේ බොහෝ රටවල් සේවකයන් රැකියාවලින් දොට්ට දානකොට ලංකාවේ එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ බැංකු කඩාවැටෙන්න ඉඩදෙන්නේ නැහැ. මූල්‍ය ආයතනකඩා වැටීමටඉඩ නොදී රජය මනා කළමනාකරණයකින් යුතුව උද්ගතවූ ඇතැම් තත්ත්වයන් පාලනය කළා.

සංවර්ධනය

මාතෘ භූමිය නිදහස් කරගන්නා ගමන් සංවර්ධනය හා ආර්ථිකය කඩාවැටීමට නොදී යහපත් ලෙස පවත්වාගෙන යෑමට අප කටයුතු කළා.

අපේ වගා ව්‍යාපාරය හා වැව් අමුණු නොතිබෙන්න අපේ රටත් ලෝක ආහාර අර්බුදයේ ගොදුරක් බවට පත්වෙනවා. “අපි වවමු - රට නගමු” වැඩසටහන නිසා අපි මිනිස්සු සාගින්නේ තියන්න කටයුතු කෙළේ නැහැ. අපි රටගැන ජනතාව ගැන හිතලා හැම අංශයක් පිළිබඳවම අවධානයෙන් යුතුව කටයුතු කළා.

අද අපේ වගකීම රට නිදහස් කරගන්නා ගමන් වන්නියේ සිරවී සිටින අහිංසක දෙමළ ජනතාව ආරක්ෂාකරගැනීමේ වගකීමද තිබෙනවා. වන්නියේ දරුවන්ගේ අතට ටී – 56 ක් දී සයනයිඩ් කරල බෙල්ලේ එල්ලන කුරිරු මිනිසුන්ගෙන් අහිංසක දෙමළ ජනතාව නිදහස් කර ගැනීමේ වගකීම අපට තිබෙනවා.

අද නිවට කොටින් කිරිදරුවන් හා බඩදරු අම්මලා පවා මිනිස් පලිහක් ලෙස යොදාගෙන තිබෙනවා. අපි ඔවුන් නිදහස් කරන ලෙස පැය 48 ක් කල් දුන්නා. ආයුධ බිම තියන්න කිව්වා. ඒ එකකටවත් කන්දුන්නේ නැහැ.

මේවා ගැන වැරැදි මත ලෝකය ඉදිරියේ කියාගෙන යන පිරිසක් ඉන්නවා. කොටින් එහෙම කිව්වාට කමක් නැහැ. ජනතා ඡන්දයෙන් පත්වූ ඇතැම් සිංහල නායකයන් සහ විමුක්තිකාමීන් යැයි කියා ගන්නා පිරිස එලෙස කටයුතු කොට අපව අසීරුතාවට පත්කිරීමට උත්සාහ කළත් අප ඉතා ඉවසීමෙන් යුතුව මාතෘභූමිය කොටි ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්න කටයුතු කරනවා.

ඔබ අප ඉපදෙන ජීවත්වෙන මියැදෙන මේ මහපොළොව ආරක්ෂා කර දීමට මා දිවි හිමියෙන් කැපවෙනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා - අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීමය පැත්තේ ගුණාත්මක වර්ධනයක් තිබෙනවා. විෂය මාලා සංවර්ධනය, නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හා නිපුණතා පාදක ඉගැන්වීම් අද හඳුන්වා දෙමින් පවතිනවා. අද අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනය හදාරන ඕනෑම දරුවකුට ලෝකයේ ඕනෑම රටක උපාධියක් හැදෑරීමට තරම් දැනුම් සම්භාරයක් ලැබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගුරු ගැටළු සාකච්ඡා කිරීමට හා ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතුකළා. අපේ විද්‍යාපීඨ වලට බැඳෙන උපාධිය ලබානොගත් අය මේ වන විට බාහිර උපාධි ලබා ගනිමින් සිිටිනවා. අද වන විට ගුරුවෘත්තියේ 50%ක් ඉක්මවා උපාධිධාරීන්ගේ ප‍්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. අප එය තවත් දිරිගන්වනවා. මෙහිදීවැදගත් වන්නේ උපාධියේ ගුණාත්මක භාවයයි.

එංගලන්තයේ බොහෝ විශ්වවිද්‍යාල වල උසස් පෙළ විෂයන් 2 ක් සමත් වූ අයටත් උපාධි ලබා ගැනීමට පුළුවන්. මේ ආකාරයට අපේ රටෙත් උසස් අධ්‍යාපනය පුළුල් වියයුතුයි. බාහිර උපාධිය පිළිබඳඛ අගය මත කිසිඳු තීන්දුවක් රජය ගෙන නැහැ. බාහිර උපාධිය සඳහා ලියාපදිංචිවීමට ඛ අගය අදාළ වන්නේ නැහැ. ඒ නිසා කිසිවිටක බයක් චකිතයක් තබාගත යුතු නැහැ.

පසුගිය කාලයේ දිවයිනේ දිස්ති‍්‍රක්ක 8 ක ස්වෙච්ඡා ගුරුවරුන් 408 දෙනකු අප ගුරු සේවයට බඳවාගත්තා.

මහින්ද චින්තනයේ සඳහන් පරිදි සැමට සරසවි වරම්ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදෙන අතරම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලු දෙනා උපාධිධාරීන් බවට පත්කරලීමට කටයුතු කරනවා.

වෙළෙඳ, වාණිජ පාරිභෝගික කටයුතු හා සමූපකාර ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා - නිදහසින් පසු අපේ රටේ පුළුල් වෙනසක් ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. අප සියලු දෙනාට අධ්‍යාපනය ලබන්න බයෙන්සැකෙන් බස් එකෙන් කෝච්චියෙන් යන්න පුළුවන් පරිසරයක් එදා තිබ්බේ නැහැ. ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම ජාතික න්‍යාය පත‍්‍රයේ අංක එකට තබා පටු න්‍යාය පත‍්‍ර පසෙකලා රට පෙරට තබා කටයුතු කළා.

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විකුණා දමා තිබූ වී අලෙවි මණ්ඩලය වී ගබඩා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය යළි පවරාගත් අපේ ආණ්ඩුවට අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට අබමල් රේණුවක වත් අදහසක් නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිදහස් අධ්‍යාපනය පෝෂණය කොට ආරක්ෂා කිරීමට දැඩිකැපවීමකින් කටයුතු කරනවා.

රු. 2000/= ක්ව පැවැති මහපොළ ශිෂ්‍යත්වය රු 2500/= දක්වා වැඩිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ වන විට 11000 ක් සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ලබාදෙනවා. ජනාධිපති අරමුදලින් සහ සංවර්ධන ලොතරැයිය මගින් ඒ සඳහා නොඅඩුව මුදල් ලබා දෙනවා. ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය තවත් වැඩිකිරීම අපේ අරමුණයි.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරමින් වැඩි දෙනකුට උපාධි ලබාදීමේ වගකීම රජය ඉටුකරමින් පවතිනවා. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතින් කි‍්‍රයාත්මක කිරීමෙන් පමණයි උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ. හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ මොරගහකන්ද ජලාශය ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරය කෙරවලපිටිය විදුලිබලාගාරය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන්නේ ඒ නිසයි.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක සහ ව්‍යාපාර පරිපාලන අධ්‍යාපන ආයතනයේ සභාපති සිසිර වික‍්‍රමසිංහ මහත්වරුද කථා කළහ.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති පියසේන ගමගේ, විදුලිබල ඇමැති මහින්දා නන්ද අලුත්ගමගේ, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් ඇමැති එස්.එම්.චන්ද්‍රසේන සහ හිටපු මධ්‍යම පළාත් ඇමැති සරත් ඒකනායක මහත්වරු එම අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා