යුද්ධය ඉවර නම් ජනතා ප‍්‍රශ්න විසඳ්‍ර . . .

යුද්ධය ඉවර නම් ජනතා ප‍්‍රශ්න විසඳ්‍ර
සැලසුම් සහිතව ඉදිරියට යන්න

විපක්‍ෂ නායක වෙන්නප්පුවේ දී කියයි

යුද්ධය ඉවරයි නම්, ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න කියා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කියා සිටින බව විපක්‍ෂ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා වෙන්නප්පුවේ දී පැවැති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැස්වීමකදී පැවැසීය.

ජනතාවගේ ප‍්‍රශ්න විසඳලා, සැලසුම් සහගතව ඉදිරියට යන්න කියා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රැස්වීමේ දී සඳහන් කෙළේ ය.

වයඹ පළාත් සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වදින අපේක්ෂකයන් ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා වෙන්නප්පුව නගරයේ දී මේ රැස්වීම පැවැත්විණි.

මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද සඳහන් කෙළේ ය.

මුලතිව් දැන් වට කරගෙන ඇතැයි රජයේ බලවතුන් කියනවා. කොටි සංවිධානයට කැලේ ගොස් හැංගෙන්න පුළුවන් වුනත් ජනතාව ගේ ප‍්‍රශ්න මේ රජයට කාටවත් හංගන්න බැහැ. මේ ප‍්‍රශ්නවලට විසඳුම් ඕනෑ. ජීවන වියදම, පඩි වැඩි කිරීම, ධීවර ප‍්‍රශ්න, කර්මාන්තශාලා වැසීම, මේ ප‍්‍රශ්න වලට මහින්ද රාජපක්‍ෂ කීවේ යුද්ධෙ ඉවරවෙනකම් ඉන්න කියායි. දැන් යුද්ධෙ ඉවරනම් දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. මොකක්ද ගන්න පියවර කියා මම අහනවා.

අවුරුදු ගණනාවක් පඩි වැඩි කෙළේ නැහැ. ජනතාවට පටි තද කරගන්න කීවා. 150% කින් ඇමැති වැටුප් වැඩි කරගත්තා. ගෙවල් කුලී කියා බොරුකර සල්ලි ගත්තා. ගෙවල් කුලී මුවාවෙන් අවුරුද්දකට ලක්‍ෂ 12ක් ගන්නවා. පස්සේ රණවිරුවන්ට පෝස්ටරයක් ගහනවා.

රටේ ප‍්‍රශ්නවලට මහින්ද වගකිව යුතුයි. ලෝකෙ කිරිපිටි මිල අඩු වෙනවා. ලංකාවෙ කිරි නිෂ්පාදනය 20% කින් වැඩි වෙලා. කිරිපිටි වලින් 8% ක බද්ධක් ගන්නවා. 5% ක් ටින් වලට දමනවිට ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය කීවා පැට‍්‍රල් ලීටරය රු. 100 ට දෙන්න කියලා. ඒත් දුන්නේ නැහැ. පවුල පාලනය කරන මිහින් එයාර් එකට කෝටි 600 ක සහනාධාර දුන්නත් ජනතාවට දෙන්න බැහැ. තේ වලට සහතික මිලක් දෙන බව කීවත් තවම නැහැ. ඉන්දියාව, ඉන්දුනීසියාව තේ වලට සහනාධාර දුන්නා. කුරුඳු කර්මාන්තය බිඳ වැටිලා. පොල් මිල පහත වැටිලා. අපි රට පාලනය කරද්දී සැලසුම් ලෙස කළා.

ඇයි මේවට සහනාධාර හා මුදල් දෙන්න බැරි කියා මම රජයෙන් අහනවා කර්මාන්ත සියල්ල වැසී යනවා. විරැකියාව ප‍්‍රශ්නෙ විසඳන්න බැහැ. සතියකට දින 03 යි වැඩ. ඉතාලි යන අය ආපසු එනවා. රජයේ සැලසුම මොකක් ද? දරුවකු පාසලට ඇතුළත් කිරීමට බෑ. විභාග ප‍්‍රශ්න පත‍්‍රයක් හදාගන්න දන්නේ නෑ. ලෝකයේ රටවල් සැලසුම් සහගතව සියල්ල කරගෙන යනවා.

මහින්ද ගේ රජයට සැලසුමක් නෑ. මහින්දට විසදුම් නැති නිසා යුද්ධෙ ඉස්සරහට දානවා. මේ වසරේ කෝටි 17,000 ක් ආරක්‍ෂාවට වෙන් කළා. ලේකම් කියනවා මුදල් එතරම් අවශ්‍ය නැහැ කියා. පිළිතුරු නැහැ. හමුදාව කිලිනොච්චි ගියාම මාධ්‍ය සත්‍ය කියන්න. කලින් සිරසට හා මාධ්‍යවේදීන්ට ගැහැවුවා. ඇත්ත කථා කරන්න කවුරුත් බයයි. උතුරේ ත‍්‍රස්තවාදය නැති කළත් දකුණේ රාජපක්‍ෂ ත‍්‍රස්තවාදය ඉස්මතු වන්න බෑ.

මාධ්‍යයට ගසා ජනතාව කුසගින්නෙ තියන්න හැකිද? ජනතාව මුලා කරන වයඹ පළාත් සභාවට යළි බලය දිය යුතුද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න අපට සහාය දෙන්න. මහින්ද රාජපක්‍ෂ පාලනය ඉදිරියට ගෙනියන්න යන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගසමිනුයි.

එ.ජා. පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා - රට වෙනුවෙන් දිවිදුන් සැමට ණය ගැතියි. දේශපෙ‍්‍ර්මි බව හදවතේ තිබෙනවා. ත‍්‍රස්තවාදය බොහෝ දුරට ඉවරයි. ඒත් දැන් ආර්ථික අර්බූදය තියෙනවා.

ආපස්සට ගිය ආර්ථිකය යළි ගොඩනැගිය යුතුය. ප‍්‍රපාතයට ගිය ආර්ථිකයත් සමඟ රනිල් වික‍්‍රමසිංහ මහතා වරක් රජය භාර ගත්තා. විදුලි කප්පාදුවට පිළිතුරු දුන්නා. ලෝක ප‍්‍රජාව ඩොලර් මිලියන 26,000 දෙන්න එදා පොරොන්දු වුණා. දක්‍ෂ කණ්ඩායමක් වයඹ පළාත් සභාවට අප ඉදිරිපත් කැර තිබෙනවා. අපේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ෆෙස්ටස් පෙරේරා මහතා ගේ මග පෙන්වීම මත වැඩ කරමු. පළාත් සභාවට අසීමිත බලයක් ඉදිරියේ දී ලැබෙනවා. නියත එ.ජා.ප රජයක් යළි බලයට පත් කිරීමට ඔබේ සහය නොවඩුව ලබා දෙන්න.

එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා - රාජපක්‍ෂ ආණ්ඩුවේ ජනතා විරෝධි කි‍්‍රයාවන්ට නිසි පිළිතුරු දීමට වයඹ පළත් සභා ජනතාව සූදානම්. මේ මැතිවරණය ජනතාව ජීවත් කරවීමේ මැතිවරණයක්. දවස ගත කරන්නට බැරි ආර්ථිකයක් රටේ පවතිනවා.

ධීවරයා, ගොවියා, කම්කරුවා අනාථයි. ආණ්ඩුව ගෙදර යවන දිනය මේ 14 වැනිදායි. දවසකට දහස් ගණනක් ජනපති කාර්යාලයට කැඳවා බත් පැකට් දෙන තත්ත්වයක් උදාවෙලා. ලෝක වෙළෙඳ පොළේ අඩුවන සහන ඉල්ලා උසාවි ගියත් ඒ අධිකරණ තීන්දුවට මඟහැර උසාවිය නිහඬ කළා. ජනතාව ගේ අයිතියට පයින් ගැසූ මේ රජය පන්නා දැමිය යුතුයි.

නීතිය කඩන්නේ ජනපතිනම්, රජය නම් ජනතාවට කථා කළ හැකිද? ජනතාවට කරුණු දැනගන්න පෙරමුණගත් ලසන්තට මොකද වුණේ. මාධ්‍ය නිදහස ප‍්‍රයෝජනයට ගෙන ජනතාවට කරුණු කීමට ගිය ලසන්ත අධි ආරක්‍ෂක කලාපයේ දී ඝාතනය වුවා. උපාලි තෙන්නකෝන්ට මොකක් ද වුනේ.

මාධ්‍යයට එක පැත්තකින් පහරදී විනාශ කරමින් රජයට සහාය ඉල්ලනවා. එදා ජනතාව වෙනුවෙන් කථා කළ ජනතා විමුක්ති පෙරමුණ කොහේද නෑ. විමල් වීරවංශ රාජපක්‍ෂගේ සාඨකයට යටවී සිටිනවා. මේ පළාත් සභාවෙන් රජයට පාඩම් ඉගැන්විය යුතුමයි.

වයඹ පළාත් සභා අපේක්‍ෂකයන් රැසක් ද මෙහිදී කථා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා