අද අප නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන්

අද අප නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන්
දිවි පරදුවට තබා රට සුරැකි නිසයි

- රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්

අද අප සියලු දෙනාම පහසුවෙන් හුස්ම ගන්නේ රණවිරු දරුවන් ජීවිත පූජාකර තමන්ගේ රට ආරක්ෂා කළ නිසයි. එනිසා එම රණවිරු දරුවන් වෙනුවෙන් ‘අපි වෙනුවෙන් අපි’ සංකල්පය යටතේ ඉදිකරන නිවාස පනස්දහස ව්‍යාපෘතිය යටතේ නිවාස පන්දහසක් එළැඹෙන අගෝස්තු මාසයේදී අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉපලෝගම දී විවෘත කැරෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් චිත‍්‍රා ගන්කන්ද මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ අපගේ දේශය හා ජාතිය දිනා දුන් රණවිරුවන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල තර කිරීම සඳහා සීමාසහිත පිළියන්දල වෙළෙඳ සමිතිය ආරම්භ කළ සමාජ සත්කාර වැඩසටහනේ් සමාරම්භක රැස්වීමට සහභාගි වෙමිනි.

කැස්බෑව නගර සභා රංග ශාලාවේදී පසුගියදා මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී ගන්කන්ද මහතා මෙසේද පැවැසීය.

අපි වෙනුවෙන් අපි සංකල්පය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක්.

අද අපේ ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් ලක්ෂ 5 ක් සිටිනවා. ති‍්‍රවිධ හමුදාවට හා පොලිසියට වැඩි වශයෙන් බැඳෙන්නේ දුෂ්කර ප‍්‍රදේශවල ග‍්‍රාමීය මට්ටමේ අඩුආදායම් පවුල්වල දරුවන්.

මේ දරුවන්ට ලැබෙන්නේ ඔවුන්ගේ වැටුප සහ රජයෙන් ලැබෙන පහසුකම් පමණයි. එනිසා ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ට බොහෝ සංවේදී ප‍්‍රශ්න තිබෙනවා.

මේ ප‍්‍රශ්න විසඳ්‍ර ගැනීම සඳහා විදේශීය ආධාර හෝ වෙනත් සංවිධානවල ආධාර හෝ කිසිවක් මේ රණවිරු දරුවන්ට ලැබෙන්නේ නැහැ. එනිසා රණවිරු දරුවන්ගේ පොදු ප‍්‍රශ්න විසඳ්‍ර ගැනීමට යමක් ලැබෙන්නේ ඔබ තමුන්නාන්සේලා වාගේ වෙළෙඳ ප‍්‍රජාවගේ සහ දේශීය දානපතියන්ගෙන් පමණයි.

මෙම නිවාස හතළිස් පන්දහස සාදන්නේ කොළඹ ගම්පහ කළුතර වාගේ ප‍්‍රදේශවල නොවේ. ති‍්‍රකුණාමලය, වවුනියාව, පොළොන්නරුව සහ අනුරාධපුරය වැනි ප‍්‍රදේශවලයි.

මෙම සියලු යටිතල පහසුකම් සහිත නිවාස ඉදිකළ විටදී ජල ප‍්‍රශ්න, විදුලිය ප‍්‍රශ්න, මාර්ග ප‍්‍රශ්න ආදී සියලුම මූලික ප‍්‍රශ්න විසැඳෙනවා. අපි වෙනුවෙන් අපි සංකල්පයේ පරමාර්ථය එයයි.

මේ වනවිට රණවිරු දරුවන් වෙනුවෙන් නිවාස දස දහසක්, දොළොස් දහසක් සෑදීමට අවශ්‍ය මුදල් තමුන්නාන්සේලා වගේ වෙළෙඳ ප‍්‍රජාවගේ් දානපතියන්ගෙන් සහ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින්ගෙන් අපේ රජයට ලැබෙමින් පවතිනවා.

‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන නිවාසයකට රුපියල් ලක්ෂ 15 ක් පමණ වැය වෙනවා. එම මුදලින් රුපියල් ලක්ෂ 8 ක මුදලක් රණවිරුවන්ගෙන් අය කරනු ලබනවා. ඉතිරි රුපියල් ලක්ෂ 7 පරිත්‍යාගයක්. මේ අයුරින් ඉදිරි වසර 3 තුළදී මෙම නිවාස පනස් දහස සාදා නිමකිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම යුද්ධය මෙතෙනින් අවසන් වූවා කියා හෝ නැවත මෙවැනි තර්ජනයක් පැමිණෙන්නේ නැතැයි කියා හෝ අප නොසිතිය යුතුයි. යුද හමුදාපතිතුමා තවත් රණවිරුවන් ලක්ෂයක යුද හමුදාවක් නිර්මාණය කළ යුතුයි කියා නිර්දේශ කර තිබෙන්නේ ඒ නිසයි.

කෝට්ටේ ශී‍්‍ර නාගවිහාරාධිපති ශාස්ත‍්‍රවේදී මාදුළුවාවේ සෝභිත හිමි අනුශාසනාවක් කරමින් මෙසේ කීහ.

පසුගිය වසර 30 මුළුල්ලෙහිම අපි කල්පනා කළේ මේ රට බේරා ගැනීමට නායකයෙකු බිහිවන්නේ නැද්ද කියායි. ඒවගේම මුළු රටම අධිෂ්ඨාන කළේ සිංහල ලේ තිබෙන සිංහල කොල්ලෙකු අපේ රටේ නායකයකු හැටියට පහළ වේවා කියායි. මේ රට බේරා ගැනීම සඳහා ඒ නායකයා අප රටට පහළ වූවා. අප බලාපොරොත්තු ආකාරයට එම නායකයාගේ නායකත්වයෙන් අපේ රට බේරා ගැනීමට හැකිවුණා.

අපට සිටින්නේ් විරෝදාර හමුදාවක්. පසුගිය වසර 3 තුළදී අපගේ හමුදා භටයින් 37000 ක් ජීවිත පූජා කළා.

තවත් අත් පා සහ ඇස් අහිමි වූ දහස් ගණනක් සිටිනවා. මේ සියලුම රණවිරු දරුවන් අපේ රටේ දුගී දුප්පත් පවුල්වල තරුණයන්.

මේ තරුණ දරුවන් නිසා අද අප නිදහස භුක්ති විඳිමින් සැනසිල්ලේ ජීවත් වෙනවා.

මේ නිදහස අපට ලබා දුන් ඒ වීර සෙබළුන් වෙනුවෙන් මේ ණය අපට ගෙවන්න බැහැ. නමුත් ඒ ණය අප සියලු දෙනාම එක් වී කෙසේ හෝ ගෙවමු. එනිසා අද පිළියන්දල වෙළෙඳ සමිතිය ඉදිරිපත් වී සිටින්නේ මනුෂ්‍යකමක් එවගේම මහා සත්පුරුෂකමක් ඉටුකිරීම සඳහායි.

මෙහිදී අපි වෙනුවෙන් අපි අරමුදල සඳහා පිළියන්දල වෙළෙඳ සමිතියේ නිලධාරීහු රැසක් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් චිත‍්‍රා ගන්කන්ද මහතා වෙත පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ශාස්ත‍්‍රවේදී කිංචිගුණේ චන්දවිමල, ශාස්ත‍්‍රපති වේපතඉර හේමාලෝක, පොල්හේනේ විමල, ශාස්ත‍්‍රවේදී නාකියාදෙනියේ පෙ‍්‍ර්මරතන යන හිමිවරු ඇතුළු කැස්බෑව නගරාධිපති ලෙනාඩ් කරුණාරත්න, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී, සහකාර පොලිස් අධිකාරී එල්. සී. ගුණවර්ධන, පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර උප පොලිස් පරීක්ෂක ඩී. විමලසේන යන මහත්වරු, පිළියන්දල වෙළෙඳ සමිතියේ නිලධාරීහු ඇතුළු ව්‍යාපාරිකයෝ රැසක් සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා