ජනපතිගේ මඟ පෙන්වීමෙන් ලත් ජය රටේ සංවර්ධනය උදෙසා ගෙන යමු

ජනපතිගේ මඟ පෙන්වීමෙන් ලත් ජය රටේ සංවර්ධනය උදෙසා ගෙන යමු

-ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග

ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණය සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීමට අප සියලුදෙනාගේම අවංක සහයෝගය ලැබිය යුතු යැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පළාත් සභා රැස්වීමේදී කීය.

ඒ මහතා එසේ පැවැසුවේ බස්නාහිර පළාත් සභාවේ රැස්වීමට සහභාගි වෙමිනි. සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශී‍්‍ර ජයවර්ධනපුර බත්තරමුල්ලේ පිහිටි එම පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේදී රැස්වීම පැවැත්විණි.

බස්නාහිර පළාත් සභාව

සභාපති - මේ සභාවට මන්තී‍්‍රවරයකු ලෙස පත් වී සිටි ඩී. දුමින්ද නාගම්මන (ජවිපෙ) මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බැවින් ආර්. ඊ. සරත් පතිරණ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු ලෙස පත් වි සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ මහතා පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ නිල ප‍්‍රතිඥාව දී ඇති බව දන්වන්න කැමැතියි. දැන් සරත් පතිරණ මහතාට සභාවේ අසුන් ගන්නා ලෙසට ආරාධනා කරනවා.

රෙහෙනසිරි වරාගොඩ (එජනිස) මහතා - මාරාන්තික ඩෙංගු රෝගය ගැන අවධානය යොමු කරවන්න කැමැතියි. මා නියෝජනය කරන කැලණිය ප‍්‍රදේශයේ මේ රෝගීන් 170 දෙනකු සොයා ගෙන තිබෙනවා. ඉන් අට දෙනෙකු මියගිහින්. ශාන්ත පාවුළු විද්‍යාලයේ සිසුවියක් මියගිය ආරංචිය ලැබෙන විට ඇගේ මවත් පියාත් ඩෙංගු රෝගීන් බවට පත්වෙලා. රෝහල්වල ප‍්‍රධාන අවශ්‍යතා බෙහෙවින් අඩුයි. මෙය මහා ව්‍යසනයක් වශයෙන් සලකා මේ අඩුපාඩු සපුරන ලෙස සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා -

2009 වර්ෂය වෙනුවෙන් වූ මුදල් ප‍්‍රකාශ සංශෝධනයට අදාළ වූ විසර්ජන (සංශෝධන) ප‍්‍රඥප්තිය අනුමත කළයුතු යැයි යෝජනාව ඉදිරිපත් කෙළේය. එය අනුමත විය.

ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනුවෙන් එතුමාට ස්තුති කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ විය.

නියෝජ්‍ය සභාපති රන්ජිත් සෝමවංශ මහතා -

උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වී ඇති නිසා තවදුරටත් පළාත් සභා ක‍්‍රමය අවශ්‍යද යන්න කල්පනාවට ගත යුතු කරුණක්. අධ්‍යාපන කටයුතුවලදී ජාතික මට්ටමේ කටයුතුª ගම් මට්ටමේ පාසල්වලට ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි මැනවින් සඳහන් කර තිබෙනවා. පාසල් වැසීයාමේ ප‍්‍රවණතාවයට සුදුසු පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

කිත්සිරි කහටපිටිය (එජාප) මහතා -

පළාතේ විදුලිබල වැඩ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදීමට කැමැතිය. දියඇළිවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය කෙරෙහි අප තබා තිබූ බලාපොරොත්තුව එලෙසින් ඉටු වී නැහැ. අපේ විමධ්‍යගත මුදලින් නිසි ප‍්‍රයෝජන ගෙන අවශ්‍යතා ඉටුකර නැහැ. වාහන දුම්බද්ද නිසා ඒවා හිමියන්ට විශාල අසාධාරණයක් සිදු වී තිබේ.

අසෝකා ලංකාතිලක (එජනිස) මෙනෙවිය -

අවුරුදු 30 ක් යුද්ධයෙන් අපි බැට කෑවා. ජාති ආගම් පක්ෂ කුල බේදයෙන් තොර ඒකීය රටක් බිහි කිරීමේ ජනාධිපතිතුමාගේ වටිනා උත්සාහය සඵල කිරීමේ හොඳ දැක්මක් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් වී තිබීම විශාලම සතුටක්.

අජිත් මාන්නප්පෙරුම (එජාප) මහතා -

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී හොරුන්ට වංචාකාරයන්ට තමා තැන ලැබී ඇත්තේ. අනාගතයේදීවත් මෙය නිවැරදි විය යුතුයි. පළාත් පාලන සේවකයන්ගේ සුබසාධනය ගැන තවත් අවධානය වැඩිකළ යුතුයි. ගම්පහ රෝහල ප‍්‍රමාණයෙන් විශාල වුවත් එහි බෙහෙත් වර්ග ඉතාම අඩුයි.

ප‍්‍රවාහන කී‍්‍රඩා තරුණ කටයුතු සමුපකාර සංවර්ධන ඇමැති උපාලි කොඩිකාර මහතා -

මීයන් කැරපොත්තන් ලැඟුම් ගත් සමුපකාරය දැන් යහපත් තත්ත්වයට පත් වී තිබීම සතුටක්. තවත් ලාබෙට බඩුමල්ලක් ලබාදීමට බලමු. සෑම ගමකටම වොලිබෝල් කී‍්‍රඩාපිටියක් ලබා දෙන්නේ නම් මැනවි.

වරුණ දීප්ත රාජපක්ෂ (ජවිපෙ) මහතා - බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ස්ථිර ප‍්‍රතිපත්තියක් මෙහි ප‍්‍රකාශ වී නැහැ.

කීර්ති උඩවත්ත (එජනිස) මහතා -

සියලු මාධ්‍යයන්ගෙන් ඉගෙනුම ලැබිය හැකිි පාසලක් බස්නාහිර පළාතේ ඇති කළ හැකි නම් එය උසස් කර්තව්‍යයක්.

විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය - මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉතාම කාලෝචිත එකක්. බස්නාහිර පළාතේ ජනතා ප‍්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබෙන ප‍්‍රකාශයක් එය. අධ්‍යාපනයෙහි ඇති විෂමතා ඉවත් කිරීමට එමගින් දී තිබෙන ප‍්‍රතිඥාව අගය කළ යුතුයි. මානව සම්පත් සංවර්ධනයේදී ලබාදිය යුතු අන්දමේ අධ්‍යාපනයකුත් තොරතුරු තාක්ෂණය දියුණු කිරීමේ ක‍්‍රමවේදයකුත් තිබිය යුතුයි. ජ‍්‍රජනක සෞඛ්‍ය ගැන විධිමත් දැනුවත් කිරීමක් අවශ්‍යයි.

ලෝකයේ ඉල්ලුමට සරිලන සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයක් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි සඳහන් වන්නේ නැහැ ගෘහ හිංසා චින්තනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ රජය ගෙන ආ පනත කි‍්‍රයාත්මක නොවීම කනගාටුවට හේතුවයි.

ප‍්‍රධාන ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා - අපේ ඉදිරි වැඩ හා කි‍්‍රයාකාරීත්වය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් වෙනවා. මෙහි යහපත් තත්ත්වය ගැන දන්නා වුවත් සමහරු කතා කරන්නේ කිසිවක් නොදන්නා අය වගෙයි. අපේ ඇමැති මණ්ඩලය සාමුහිකව කි‍්‍රයාකරමින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කරුණු අඩු නැතුව ඉටුකරනවා.

ස්තුති යෝජනාව බෙදීමකින් තොරව සම්මත විය.

ප‍්‍රධාන ඇමැති - පොදු වැදගත්කමකින් යුක්ත වූද හදිසි වූද යෝජනාවක් ගෙන ඒම සඳහා කාර්ය පටිපාටි රීති 107 අත්හිටුවිය යුතු යැයි යෝජනාව ඉදිරිපත් කෙළේය. ඊට විරුද්ධත්වයක් පළවූයේ නැත. ප‍්‍රධාන ඇමැතිවරයා යෝජනාවක් ද ඉදිරිපත් කෙළේය.

ඒ. ජේ. එම්. මුසම්මිල් (එජාප) මහතා -

ත‍්‍රස්තවාදි යුද්ධය ජයග‍්‍රහණය කිරීමට විදේශ රටවල් කීපයකුත් ආධාර වුණා. මඩමාරච්චි මෙහෙයුම ජයග‍්‍රහණය කිරීමට එදා නොහැකි වූයේ ඉන්දියාව එරෙහිවීම නිසයි. මේ ජයග‍්‍රහණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තරම් සතුටු වන වෙනත් පිරිසක් නැහැ. · අබ්දුල් රහුමාන් (එජාප) මහතා - දහතුන් වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එහා යන විසඳුමකට යන බව නායකයන් කියතත් සන්ධානයේම සමහරු ඊට පටහැනි ප‍්‍රකාශ කරනවා. එවැනි විසඳුමකට සහයෝගය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ප‍්‍රකාශ කර තිබෙනවා. රටට ආදරය නැති පිරිස නම් සුළු ජාතීන් සමඟ එක්ව ජීවත්වීමට අකැමති අයයි.

රෝස් ප‍්‍රනාන්දු (එජාප) මහත්මිය - අප රටේ යහපැවැත්ම අපි හැම විටම අපේක්ෂා කරනවා. මේ සටනක අවසානය දක්වා ගෙන යා හැකි වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි. මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයද විශාල කැප කිරීමක් කළා. වටිනා ජීවිත ගණනාවක් එම පක්ෂය අහිමි කර ගත්තා. සටන අවසන් කළ දිනය වසරක් පාසා සැමරිය යුතුයි. බස්නාහිර පළාත් සභාව මේ පිළිබඳ සිහිවටයනක් ඇති කළයුතු යැයි මම යෝජනා කරනවා.

එච්.එම්. ජී. බී. කොටකදෙණිය (හෙළ උරුමය) -

බස්නාහිර පළාත් ත‍්‍රස්තවාදයට එරෙහිව පොලිස් නිලධාරියකු වශයෙන් මා කළ මෙහෙවරට ගරු කිරීමක් වශයෙනුයි ගම්පහ ජනතාව මේ සභාවට මා පත් කෙළේ.

අජිත් පෙරේරා (එජාප) මහතා - නැවත ත‍්‍රස්තවාදය ඇති නොවීමේ මං අපේ මහ ඇමැතිතුමා හඳුනාගෙන ඇතත් එවැන්නක් ඇතිවීම වැළැක්වීමේ මාර්ග රජය හඳුනාගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. තිරසාර සංවර්ධනයක් ඇති කරන්න නම් දූෂණය අල්ලස නාස්තිය පිටුදැකිය යුතුයි. ඒ සඳහා වන ඉඟියක් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි සඳහන් වන්නේ නැහැ. අල්ලස් කොමිෂන් සභාව අනියම් අන්දමින් අකී‍්‍රය කර තිබෙනවා. පොලිස් කොමිෂම යටපත් කරනවා.

ශී‍්‍රනාත් පෙරේරා (එජාප) - යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගෙවන රක්ෂණ මුදල් රුපියල් ලක්ෂ එකහමාරයි. එය ලක්ෂ දහයක් කළයුතු බවට මම අවධානය යොමු කරනවා. එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් පළාත් සභා ක‍්‍රමය ඉදිරියට ගෙන යාමයි ජනාධිපතිතුමාගේ අපේක්ෂාව. ඊට තව බලතල ලබාදිය යුතුයි..

ගාමිණී තිලකසිරි (එජනිස) මහතා -

යුද්ධයේ අවසානයක් දකින්න ලැබේයැයි හුඟ දෙනෙක් සිතුවේ නැහැ. ජනාධිපතිතුමාගේ එඩිතර නායකත්වය නිසයි එම අවස්ථාව එළඹුණේ. රණවිරු ස්මාරකයක් පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ඇති කළා. රණවිරු සමරු උළෙලක් පැවැත්වූවා. ඉතිහාසයේ රැස් නොවූ ජනකායක් මේ අවස්ථාවට සහභාගි වුණා.

ලලිත් වර්ණකුමාර (එජනිස) මහතා -

මහින්ද චින්තන පොතට සීමා නොකර ජනාධිපතිතුමා කි‍්‍රයාත්මක කරන නිසයි මේ ජයග‍්‍රහණය උසස් අන්දමින් ලැබිය හැකි වූයේ.

අර්ෂාඩ් එම්. අෂාබ්දීන් (මුස්ලිම් කොංග‍්‍රසය) මහතා - කොළඹ මහ නගර සභාවට මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් මහමගට ඇද දැමීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔවුන් අසරණ වි තිබෙනවා. එම නගර සභාව නැවත කි‍්‍රයාත්මක කරවන්න. යුද්ධය අවසන් නිසා කොළඹ නගරයේ වසා තිබෙන මංමාවත් විවෘත කර ව්‍යාපාරිකයන්ගේ කටයුතුවලට අවස්ථාව ලබාදෙන්න.

සරත් පතිරණ (ජවිපෙ) මහතා - එක කොඩියක් යටතේ එක්සත් වන මේ මොහොතේ ආබාධිත රණවිරුවන් දකිද්දී එම සටන් වැඩපිළිවෙළට රුකුල් දුන් පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද සතුටු වෙනවා. රජයට සහයෝගය දක්වනවා යැයි කියන්නේ මන්තී‍්‍රවරු සියලු දෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට බැන්දවීම නොවෙයි.

විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය - අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහතා ඇතුළු දෙස් විදෙස් ජන නායකයන් විශාල ප‍්‍රමාණයක් මේ යුද්ධය නිසා නැතිවුණා. ජනාධිපති රණසිංහ පෙ‍්‍ර්මදාස මහතාගේ ජන්ම දිනය වූ අද දින එතුමා සිහිපත් කිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා - ජනාධිපති රාජපක්ෂ මහතාගේ පත්වීමත් සමඟ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවීම තමා මේ ජයග‍්‍රහණයට ආශීර්වාදයක් වුණේ.

යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත විය.

බස්නාහිර පළාත් සභාව ජූලි 7 දා යළි රැස්වෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා