ආර්ථික හා සංවර්ධන යුද්ධයත් ජනපති ජය ගත්තා

ආර්ථික හා සංවර්ධන යුද්ධයත් ජනපති ජය ගත්තා

- ඇමැති රෝහිත අබේගුණවර්ධන

යුද ජයග්‍රහණය අතරතුර රටේ ආර්ථිකය හා සංවර්ධන යුද්ධයද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයගත් බවත්, පුරන් කුඹුරු අස්වද්දා යටිතල පහසුකම් දියුණුවී රටේ සෞභාග්‍යමත් යුගය උදාවෙමින් පවතින බවත්, ජාතිය ගොඩනැඟීමේ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ දොඩන්ගොඩ හර්මන් වත්ත දෙවන අදියර ප්‍රධාන මාර්ගය සංවර්ධනය කැර ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය හරහා අපි අපේ යුතුකම හා වගකීම ඉටු කළා. මඩ වගුරක් ලෙස තිබූ මාර්ගය නිසි ලෙස සංවර්ධනය කළා. ඒ යුතුකම හා වගකීම ඉටු කරන්න අපට ශක්තිය ලැබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට පින් සිදුවන්්න කීවොත් නිවැරැදියි. එතුමා මේ රටේ නව දේශපාලන පිටුවක් ආරම්භ කළ දේශපාලන නායකයෙක්්.

එක් පැත්තකින් අපි අවුරුදු 30 ක් දීර්ඝ ඉතිහාසයක් තිබූ ත්‍රස්තවාදයට මුහුණදුන්න රටක්. අපේ රට ත්‍රස්තවාදය නිසා ආපස්සට හැරුණා. නොයෙක් බාධක වලට මුල්වුණා.

අද වෙනකොට නිදහසේ ජීවත්වීමේ අයිතිය අපේ ජනාධිපතිතුමා අපට ලබාදීලා තියෙනවා. ඒ වගේම ලොකු මෙහෙවරක් කරපු දේශපාලන නායකයෙක් ලෙසට එතුමා ඉතිහාසයට එකතු වෙනවා. යුධ ජයග්‍රහණයත්, සංවර්ධන ජයග්‍රහණයත් ජනාධිපතිතුමා එකවර කළා.

අද උතුරු නැඟෙනහිර ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය හරහා දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඒ ප්‍රදේශවල මහා පරිමාණ සංවර්ධනයක් කඩිනමින් සිදුවෙනවා.

හම්බන්තොට ධීවර වරාය ඉදිවෙනවා. ගුවන් තොටුපළ ඉදිවෙනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිවෙනවා. කොත්මලේ විදුලි බලාගාරය ඉදිවෙලා තියෙනවා.

අද කරුවලේ ඉන්න අවශ්‍ය නැහැ. ඉතිහාසයේ අපි දැකපු පුරන් කුඹුරු ටික දැන් අස්වැද්දෙනවා. හැම ගෙදරකම පැළයක් ඉන්දන තත්ත්වයට මිනිස්සු පරිවර්තනය වෙලා. අපේ යුතුකම් ඉටු කරන්න ජනාධිපතිතුමා අපේ දෑත් ශක්තිමත් කරලා.

ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශය හරහා කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 768 සඳහා අපි මුදල් ලබා දෙනවා. මේ රටේ ගම්මාන 14000 ක් සඳහා අඩුම වශයෙන් ලක්ෂ හතහමාරක් ලබා දී තියෙනවා.

උපරිමය ලක්ෂ 100ක් 200ක් දීලා තියෙනවා. පාලින්ද නුවර ඉලුක්පොත ගමට විශේෂ ගම්මානයක් ලෙසට මුදල් දුන්නා. මේ අනුව අද රටේ සෑම තැනම විශාල සංවර්ධනයක් සිදුවෙනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්ලාල් මෙන්ඩිස් මහතා ඇතුළු කීපදෙනෙක් ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා