රට දියුණු කිරීමට සැවොම එකාමෙන් වැඩ කළ යුතුයි

රණවිරුවන් විසින් බේරාගත්

රට දියුණු කිරීමට සැවොම එකාමෙන් වැඩ කළ යුතුයි

- ඇමැති පියසිරි විජේනායක

අවුරුදු තිහක පමණ කාලයේ සිට තිබූ කොටි ත්‍රස්තවාදය රණවිරුවන් විසින් බේරාගත් මේ අවස්ථාවේ රට ගොඩනැගීමට සියලු දෙනා එක්සත්ව සහය දිය යුතුයි.

මෙවැනි බාරධූර කාර්යක් පැවරී තිබෙන මේ මොහොතේ වැඩ වර්ජන කිරීමට අවශ්‍යව ඇත්තේ වෘත්තීය සමිති සාමාජිකයින්ට නොව වෘත්තීය සමිති නිලධාරීන්ටයි සංස්කෘතික ඇමැති පියසිරි විජේනායක මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසූයේ රාගම - නැලිගම ශී‍්‍ර ශෛලාසනාරාම විහාරස්ථානයේ පැවැති සංස්කෘත අමාත්‍යංශය මගින් මෙහෙයවන පුනරුද ව්‍යාපාරයේ ගම්පහ දිස්ත්‍රික් ආරම්භක රැස්වීම අමතා කථා කරමිනි.

රාගම ශී‍්‍ර ශෛලාසනාරාම විහාරස්ථානයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික්කයේ සංස්කෘත අමාත්‍යංශය මගින් පැවැත්වූ පුනරුදු ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය සඳහා පැමිණි සංස්කෘතික කටයුතු ඇමැති පියසිරි විජේනායක මහතා උත්සව සභාව සඳහා කැඳවාගෙන ආ අවස්ථාව. හිඟුරළ කන්දේ පඤ්ඤානන්ද, වල්පොළ සද්ධානන්ද හිමිවරුද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නෙලුක් මල්ලව, සංස්කෘතික අමාත්‍ය සම්බන්ධිකරන ලේකම් එච්. ඩබ්ලිව්. පී. සමරරත්න යන මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - ජාඇළ සමූහ - ඩබ්. විල්ප්‍රඩ් සිල්වා

තව දුරටත් කතාකළ ඇමැති වරයා මමත් වෘත්තීය සමිති නායකයෙක්. අපේ ඇවතුම පැවතුම සිරිත් විරිත් අපේ උරුමයන් අපි ආරක්ෂාකර ගත යුතුයි.

විදේශීය බලපෑම් නිසා සමාජය ආපස්සට ගොස් තිබෙනවා. මංගල අවමංගල අවස්ථාවල චාරිත්‍ර වාරිත්‍ර පවා අද සමාජයෙන් ගිලිහී ගොසින්. ගෙදර දොරේ ක්‍රියාත්මක වූ අත් බෙහෙත් අද නැහැ. මේ සියල්ලමද අපේ උරුමයන්. ඒවා අපි ආරක්ෂා කරගත යුතුයි.

අද කැඳ ටිකක් බීම පවා සමාජයෙන් තුරන් වෙලා. උදේට දරුවන්ට කැඳ කෝප්පයක් දී පාසල් යැව්වොත් දවල් 11, 12 වනතුරු දරුවන්ට බඩගිනි දැනෙන්නෙ නැහැ.

තාක්ෂණය අතින් අපේ රට දියුණු තත්ත්වයක තිබුණ බව රුවන්වැලි සෑය ථූපාරාමය වැනි චෛත්‍ය වලින් පෙනී යනවා. ජාතික පුනර් ජීවනයක් ඇති කිරීමටත් අපේකම රැකීමටත් සියල්ලෝම අදිටන් කර ගත යුතුයි.

ශෛලාසනාරාමාධිපති මාකුරේ පියනන්ද හිමියෝ මූලාසනේ කතාව කරමින්, අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලේ දහදිය වපුරා රට බේරා දුන්නා. මේවා අපි කවදාවත් අමතක නොකළ යුතුයි. දැන් තිබෙන්නේ රට දියුණු කිරීමට සැවොම එකාමෙන් කටයුතු කිරීමයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නෙලුක්මල්ලව සංස්කෘතික ඇමැති සම්බන්ධිකරණ ලේකම් එච්. ඩබ්ලිව්. පී. සමරරත්න යන මහත්වරු ද කතා කළ අතර හිඟුරළ කන්දෙ පඤ්ඤානන්ද වල්පොළ සද්ධානන්ද හිමිවරුද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

ශෛලාසනාරාමාධිපති පියනන්ද හිමියන්ගේ 64 වෙනි උපන්දිනය සමරා මෙදින ලේ දන්දීම, ඇස්දන්දීම, සඳහා ඉල්ලුම්පත් ලබාදීම හා පොල්පැළ බෙදාදීමක්ද සිදුවිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා