2,20,000කට මරු කැඳවූ සුනාමියේ පස්වැනි වසර ලෝක ප්‍රජාව සමරති

2,20,000කට මරු කැඳවූ සුනාමියේ
පස්වැනි වසර ලෝක ප්‍රජාව සමරති

විශේෂයෙන් ආසියාව ඇතුළු ලෝක ප්‍රජාව බිහිසුණු සුනාමි ඛේදවාචකයේ පස්වන වසර සැමරූහ. මුහුද පත්ලේ හටගත් රිච්ටර් මාපකයේ 9.3ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඇති වූ මේ සුනාමි උදම් රළින් පුද්ගලයන් 220,000කට අධික සංඛ්‍යාවක් 2004 දෙසැම්දර් 26 සුනාමියෙන් මිය ගියහ. ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ දී පමණක් මියගිය සංඛ්‍යාව 170,000 පමණ වේ.

විනාඩි 2ක නිශ්ශබ්දතාව රැකීම, යාඥා මෙහෙය, පුද පූජා ආදිය පවත්වමින් ලෝකවාසීහු සිය මියගිය ඥාතීන් අනුස්මරණය කළ බව වාර්තාවේ. මේ අතර තම පරපුරේ 40 දෙනෙක් ම මිය යාම නිසා මෙළොව හුදකලාවී සිටින අවුරුදු 72 ක් වියැති හඬා වැලැපෙන කාන්තාවක් ද සිටි බව අචේ ප්‍රාන්තයෙන් වාර්තාවේ. ශ්‍රී ලංකාවේ දී සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 31,000 පමණ බව වාර්තාවේ.

අනාගතයේ දී විය හැකි මෙවැනි විපතකින් ලෝක ප්‍රජාව බේරාගැනීමට සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කිරීමට පියවරගෙන ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කරයි.

සුනාමියෙන් විපතට පත් අයට සහනාධාර සැපයීමට ලබාදුන් මුදල් ඇතැම් රටවල් අයථා ලෙස පාවිච්චි කර ඇති බව ‘ට්‍රාන්සේපේරන්සි ඉන්ටනැෂනල්’ සංවිධානය චෝදනා කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා